hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 08, පෙ.ව. 7:15



අප රටේ  සංස්කෘතිය හා බැඳී පවතින සාරිය හා ඔසරිය වෙනුවට ගුරු ගෞරවයට හානි වන වෙනත් කිසිදු ඇඳුමක් ගුරු වෘත්තිකයින් සඳහා හඳුන්වා නොදෙන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ගුරුවරියන්ගේ ඇඳුම වෙනස් කිරීමේ අවශ්යතාව ඇතිව තිබෙන්නේ එක් ගුරු සංගමයක නායකයෙකු වූ එක පුද්ගලයෙකුට  පමණක් බවත් එම යෝජනාවට මහ සංඝරත්නය ඇතුළු විවිධ පාර්ශව වෙතින් විරෝධය එල්ල වී තිබෙන බවත් ඒ මහතා සඳහන් කළා.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවට ඊයේ (07) පැමිණි අවස්ථාවේ දී අධ්යාපන ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළා.

ගුරුවරියන්ගේ ඇඳුම වෙනස් කිරීම සම්බන්ධව යෝජනා කරන ඇතැම් පිරිස් ඒ සඳහා උදාහරණයක් ලෙස ෆින්ලන්තය යොදා ගනු ලබන බවත් වසරේ මාස හයක කාලයක් අඛන්ඩව හිම පතිති වන ආකාරයේ අධික ශීත කාලයක් පවතින එම රටේ ක්‍රියාත්මක ගුරු ඇඳුමේ වෙනස් කම් ලංකාවට යෝජනා කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් ප්‍රේමජයන්ත මහතා සඳහන් කර සිටියා.

මෙම යෝජනා කරන පිරිස් අවධානය යොමු කළ යුත්තේ ෆින්ලන්ත ගුරුවරියන්ගේ ඇඳුම සම්බන්ධව නොව එම රටේ ක්‍රියාත්මක සාර්ථක අධ්‍යාපන ක්‍රමය පිළිබඳව බව ද හෙතෙම අවධාරණය කළා.

සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව සියලු ගුරුවරියන් පාසැල් එන විට සාරිය හෝ ඔසරිය අඳින බවත් ඇඳුම වෙනස් කිරීමේදී මෙරට සංස්කෘතිය පිළිබඳ නොතකා තීන්දු තීරණ ගත නොහැකි බවත් අධ්‍යාපන ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.