hit counter

2024 මැයි මස 19 වන ඉරිදා

2024 මැයි 07, ප.ව. 2:09



සිය පෙම්වතියගේ නිවසට ගොස් සිටියදී අතුරුදන් වූ කුලියාපිටිය තරුණයාගේ මළ සිරුර දින 15කට පසුව අද (07) පෙරවරුවේ පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

එම තරුණයා ඝාතනය කර මෘත ශරීරය පුළුස්සා මාදම්පේ පනිරෙන්ඩාව ප්‍රදේශයේ රක්ෂිතයක දමා තිබියදී පොලිසිය විසින් සොයාගනු ලැබූවා.

කුලියාපිටිය කබලෑව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි සුසිත ජයවංශ නැමැති මෙම තරුණයා අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්තා වූයේ ඉකුත් අප්‍රේල් 22 වෙනිදායි.

මෙම තරුණයා ආහාරපාන වෙළෙඳසැලක් පවත්වා ගෙන ගිය අතර ඔහු පසුගිය අප්‍රේල් 22 වනදා සිය වෙළෙඳසැලෙහි සේවකයෙක් සමඟ කුලියාපිටිය වස්සාවුල්ල ප්‍රදේශයේ සිය පෙම්වතියගේ නිවසට ගොස් තිබු අතර එතැන් පටන් ඔහු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා වී තිබුණේ නැත.

අතුරුදන් වූ තරුණයාගේ ජංගම දුරකතන සබඳතාව අවසන්වරට විසන්ධි වී තිබූ පුත්තලම ප්‍රදේශයේ පිහිටි කැලෑබඳ ප්‍රදේශයක සිදුකළ සෝදිසි කිරීම්වලදි මළ සිරුර හමුවු බව පොලිසිය සඳහන් කළා.

මෙම තරුණයාව ඝාතනය කර ඇති බවට අනාවරණය වූ නමුත් එය සිදුකළ ආකාරය හෝ එයට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව මෙතෙක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව කියා සිටියා.

එම තරුණයාගේ පෙම්වතියගේ පියා වන සුජිත් ප්‍රනාන්දු නොහොත් ‘සිඟිති’ නැමැත්තා තරුණයාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පසුගියදා සැකපිට අත්අඩංගුවට ගත් අතර රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (06) නියෝග කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: