hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 7:20



මෙරට තුළ අනාරක්‍ෂිතව සිදුවන පච්චා කෙටීමේ කලාව නොහොත් ටැටූ කලාව නිසා තරුණ තරුණියන් අතර රෝග වැලඳීමේ දැඩි අවදානම් තත්ත්වයක් උද්ගතව තිබෙනවා.

පච්චා කෙටීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය හා උපකරණවල ප්‍රමිතියක් නොමැතිවීම මෙන්ම එම කටයුතු කරන පුද්ගලයන්ට ඒ සඳහා නිසි පුහුණුවක් නොතිබීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවද දැන ගැනීමට ලැබෙනවා.

නිසි ආරක්‍ෂාවකින් හා ප්‍රමිතියකින් තොරව කෙරෙන මෙම පච්චා කෙටීමේ කලාව නිසා රුධිරය මඟින් හෙපටයිටීස් බී, ඒඩ්ස් හා සමේ රෝග වැනි භයානක ආසාදන පැතිරීමේ අවදානමක් පවතින බවද මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවැසුවා.

මෙවැනි අනාරක්‍ෂිතව ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා නීති රාමුවක් සකස් විය යුතු බවද එම ව්‍යාපාර පවත්වාගෙන යන පුද්ගලයන් කිසියම් ස්ථානයක ලියාපදිංචි කර නියාමනයකට යටත් කළ යුතු බවද ඒ මහතා සඳහන් කළා.

එවැනි නීතිමය තත්ත්වයක් නොමැතිව එවැනි ව්‍යාපාර පවත්වාගෙන යන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට බලයක් නොමැති බවද ඒ මහතා පැවැසුවා.

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් පිරිසක් පසුගිය දිනවල හලාවත ප්‍රදේශයේ මෙවැනි ව්‍යාපාර 12ක් පරීක්‍ෂා කළ බවද එම ව්‍යාපාර පවත්වාගෙන යන පුද්ගලයන්ට නිසි පුහුණුවක් නොමැති බවත් එහි තිබූ උපකරණවල හා අමුද්‍රව්‍යවල ප්‍රමිතියක් නොමැති බව අනාවරණය වී ඇත බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.