hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජනවාරි 31, ප.ව. 1:09



දැනට ක්‍රියාත්මක වන බදු ප්‍රතිපත්තිය හකුලා ගන්නා ලෙස රජයට බල කරමින් වරායේ සියලු වෘත්තීය සමිති සහ වරාය සේවකයන් එක්ව විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.

අදාළ විරෝධතාව අතරතුර පිරිසක් අතර උණුසුම් තත්වයක් ද ඇති වුණා.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සමස්ත වෘත්තීය සමිති වෙනුවෙන් ශ්‍යාමල් සුමනරත්න මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සමස්ත වෘත්තීය සමිතිය විතරක් නෙමෙයි, සියලු ආයතන වල වෘත්තීය සමිති මේ සටනට අපි කැඳෙව්වා. ඒක නිසා, අපේ හඬට කන් දුන්නේ නැත්නම් හෙට ඉඳලා දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග වරාය තුළ අපි ගන්නවා.”

“අද අපි එකතු කළේ මේ වරාය අධිකාරියේ සමස්ත වෘත්තීය සමිති සහ සමස්ත ආයතන. අපි හෙට එකතු කරන්නේ, මේ රටේම තියෙන මේ බදු පනතට විරුද්ධව ඉන්න, සියලු කොටස් ටික අපි එකතු කරනවා. එකතු කරලා, මේ ආණ්ඩුවේ බදු පනත පස්සට දානකම්, මේ බදු පනත සංශෝධනය කරනකම් සටන කරනවා.”

බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඉංජිනේරු සේවා වෘත්තීයවේදීන්ගේ සංගමයද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

ඉංජිනේරු සේවා වෘත්තීයවේදීන්ගේ සංගමයේ මධ්‍යම කමිටු සාමාජික ලසන්ත නාගොඩ මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“ලක්ෂයකට වඩා වැටුප් ලබන සියලු දෙනාටම බදු අයකරනවා. හැබැයි ලංකාවේ උද්ධමනය මේ වෙනකොට සියයට හැටකට ආසන්නව තියෙනවා. ඒ කියන්නේ රුපියල් ලක්ෂයක් වැටුප් ගත්ත කෙනෙක් අද වටිනාකම තියෙන්නේ ඒ වැටුපෙන් රුපියල් හතළිස් දාහක්, රුපියල් හතළිස් පන්දාහක් විතර. මේකෙන් වෙලා තියෙන ප්‍රශ්නේ තමයි, ගොඩක් අය ණය වාරික ගෙවනවා වැටුපෙන්. ඊට පස්සේ ළමයි ඉන්නවා නම්, ළමයි පාසල් යවන්න ඕනේ. සෞඛ්‍ය වියදම් තියෙනවා. දුරකථන වියදම් තියෙනවා. විදුලිබිල වැඩිවෙලා තියෙනවා. ජල බිල වැඩිවෙලා තියෙනවා. සියලුම වියදම් ඉහළ ගිහිල්ලා තියෙන තත්වයක්. එතකොට දැන් මේ ණය ගෙවා ගැනීමේ අර්බුදයකට මුහුණපාන්න සිද්ධ වෙනවා අනිවාර්යෙන්ම මේ වෘත්තිකයන්ට.”

මේ අතර නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් වෘත්තීයවේදීන් රැසක් එක්ව ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

වෛද්‍ය පීඨ ආචාර්ය මණ්ඩල සමිති සම්මේලනයේ මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“වෘත්තිකයන් කිසිම වෙලාවක කියලා නැහැ බදු ගෙවන්න බැහැ කියලා. මේ අවස්ථාවේ පවා මේ වෘත්තීය සමිති එකමුතුව එක හඬින් ක්‍රීයාකරන්න කියන්නේ. අපි බදු ගෙවන්න ලෑස්තියි. හැබැයි ආර්ථිකය හකුලවන, රාජ්‍ය සේවය විනාශයට පත් විනාශකාරී බදු ක් රමය පිළිගන්න අපි ලෑස්ති නැහැ. අපි ඉල්ලා සිටින්නේ සියලු දෙනාටම සාධාරණ, විනිවිදභාවයෙන් යුක්තව, වගවීමකින් යුක්තව, රටේ ජනතාව වියදම් කරන හැම සතයටම, හැම රුපියලටම වගවීමක් ඇති බදු ක්‍රමවේදයක්.”

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක නදීෂ සිල්වා මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“මහජනතාව සහ අපි අතර අනවශ්‍ය ගැටුමක් හදන්න හදනවා. මේ ගැටුම අවශ්‍ය නෑ. අපි මේ රටේ මහජනතාවට කියන්න කැමතියි වෘත්තියක් ලෙස අපේ වෘත්තීය අභියෝගයට ලක්වෙනවා වගේම, ගෙදර කන බත් පිඟානේ ඉඳලා යන බස් එකේ ඉඳලා හැම දේකටම බදු අදින දවස හෙට, අනිද්දා නෙවෙයි. ඒ නිසා තමයි අපි බදු ප්‍රතිපත්තියක් ඉල්ලන්නේ. ආණ්ඩුවට කියනවා, අපට තව ඇහුම්කන් දෙන්නැත්නම්, අපට සිද්ධවෙනවා ඇහුම්කන් දෙන්න සලස්වන්න.සතියක් ආණ්ඩුවට කල් තියෙනවා. ලබන සතියේ, මුළු කොළඹටම ඇහෙන්න වෘත්තිකයෝ මේ හඬ අවදි කරනවා.”