hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 6:20



ලෝකවාසී බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරව, භක්තියට පත්ව ඇති බෞද්ධ සිද්ධස්ථානයක් වූ ගැටඹේ ඓතිහාසික බෝධීන් වහන්සේ මහවැලි ගංගාවට ගිලාබැසීමේ අවදානමක් උද්ගතව පවතින බව ගැටඹේ රාජෝපවනාරාමාධිපති රාමඤ්ඤ නිකායේ අනුනායක පුජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියෝ පවසයි.                                                           

වසර පන්සියයක් පමණ ඉපැරණි බෝධීන් වහන්සේ මෙන්ම එම පරිශ්‍රයේ පිහිටි චෛත්‍යරාජයාණන් වහන්සේ හා ගොඩනැගිලි ආශ්‍රීත ප්‍රදේශයේ ස්ථාන රැසක්ම මේ වන විට ඉරිතලා පුපුරා ගොස් ඇති බවත් කඩිනම් පියවර නොගතහොත් මේ ඓතිහාසික පුද බිම මහවැලි ගංගාවට ගිලාබැසීමේ අවදානමක් උද්ගතව පවතින බවත් උන්වහන්සේ      පැවසූවා.                                                                     

උන්වහන්සේ මෙසේ ද අදහස් දක්වා සිටියා,                                                    

“ගැටඹේ පුදබිම අසලින් මහවැලි ගංගාව ගලා බසින අතර වර්ෂාව හේතුවෙන් නිතරම ගංගාව පිටාර ගලමින් පුදබිම ආශ්‍රිත ඉවුර ඛාදනය වීමේ අවදානම පැවැති රජයට පෙන්වා දීමෙන් අනතුරුව 2021 වසරේ මහවැලි ගං ඉවුරේ අනාරක්ෂිත ප්රදේශයේ ආරක්ෂක බැම්මක් ඉදි කිරීමේ කටයුතු ආරම්භ කළා. ඒ සඳහා රුපියල් මිලියන 210 ක් පමණ වැය වෙතැයි ඇස්තමේන්තු කළා. එම බැම්මෙ ඉදිකිරීම් කටයුතු තරමක් දුරට සිදු කෙරුණත් මේ වන විට මාස කීපයක සිට වැඩ නතර වී තිබෙනවා. මුදල් නොමැති කමින් මෙම වැඩ නතර වූ බව තමයි බැම්ම ඉදිකරන සමාගම අපට සඳහන් කළේ. මෙම බැම්ම ඉදිකිරීම සඳහා ඓතිහාසික බෝධීන් වහන්සේ පිහිටි පරිශ්රය දක්වාම පස් කපා ඉවත් කොට තිබෙනවා. පසුගිය සමයේ ඇති වූ අධික වර්ෂාවත් සමඟ බෝධීන් වහන්සේ හා චෛත්යය වහන්සේ පිහිටි පරිශ්රයේ බොහෝ ස්ථාන ඉරිතැලීම් හා පිපිරීම් දක්නට ලැබෙනවා. බෝධීන් වහන්සේට යටින් පිහිටි ගොඩනැගිලි පරිශ්රයේද මෙම ඉරි තැලීම් හා පුපුරා යෑම දරුණු ආකාරයෙන් දක්නට ලැබෙනවා ඇතැම් ස්ථාන ගිලා බැස තිබෙනවා. මේ ආකාරයෙන් දිගටම තිබුනොත් මේ ඓතිහාසික පුදබිම මහවැලි ගංගාවට ගිලාබැසීමේ අවදානමක් අනිවාර්යෙන් උද්ගතවනවා.”                                    

නාහිමියෝ මේ පිළිබඳව අදාළ අංශ දැනුවත් කිරීමෙන් අනතුරුව ක්රීඩා තරුණ කටයුතු හා මහවැලි අමාත්ය රොෂාන් රණසිංහ මහතා අදාල නිලධාරීන් සමඟ ගැටඹේ පුදබිම වෙත පැමිණ මේ සම්බන්ධයෙන් පරික්ෂා කළ අතර ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළ ඒ මහතා කියා සිටියේ පවතින මුදල් අර්බුදය හමුවේ ආරක්ෂක බැම්ම ඉදිකිරීමේ කටයුතු නතර වී තිබුණද පුදබිම පවතින යම් අනාරක්ෂිත තත්වය හමුවේ මෙම ආරක්ෂිත බැම්මේ කටයුතු නැවතත් ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි.

මහනුවර – කමල් සුරවීර