hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:15



මල්වතු මහා විහාරයට අයත් මහනුවර ඓතිහාසික හිඳගල රජමහා විහාරයේ වැඩ වාසය කරන 17 හැවිරිදි හිමිනමකට ඊයේ (18) පෙරවරු 11.00 ට පමණ විහාර පරිශ්‍රයේ දී බලහත්කාරයෙන් වස පොවා, පැරසිටමෝල් පෙති විශාල ප්‍රමාණයක් ගිල්ලවීමෙන් බරපතල රෝගී තත්ත්වයට පත් හිමිනම පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වස පෙවීමෙන් අසාධ්‍යය තත්ත්වයට පත් අත්තරගම ධම්මරතන නම් හිමිනම මේ වනවිට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

වස බෝතලයක් ඇතැතිව විහාර භූමියේ පිහිටි දිය පාරක් අසළ රැඳී සිටි නාඳුනන පුද්ගලයෙකු එය පානය කරන බව ප්‍රකාශ කිරීමත් සමඟ මෙම හිමිනම විහාර භූමියෙන් එවැන්නක් නොකරන ලෙස දැනුම් දී ඔහුට එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙස දැනුම් දුන් අවස්ථාවේ ඔහු හිමිනමගේ ගෙළට පිහියක් තබා වස බෝතලය බලහත්කාරයෙන් පොවා තිබෙන බව දැනට සිදුකර තිබෙන පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා.

විහාර භූමියට දින කිහිපයක් තිස්සේ පැමිණි නාදුනන පුද්ගලයෙකු හිමිනමට මෙම වස පෙවීම සිදුකර තිබෙන බව හිඳගල රජමහා විහාරාධිවාසි  පූජ්‍ය ඇඹිල්මීගම පඤ්ඤාකිත්ති හිමියෝ පවසනවා.

වස තිබූ බෝතලය රෝහලට බාර දීමට විහාරවාසි හිමිවරු පියවර ගෙන තිබෙනවා.

බලහත්කාරයෙන් වස පෙවීමට ගිය අවස්ථාවේ හිමිනමගේ මුහුණ ප්‍රදේශයට තුවාල සිදුව තිබෙනවා.

රෝහල්ගත කරන අවස්ථාවේ හිමිනම සිහිසුන් තත්ත්වයේ පසු වූ බවද දැන ගන්නට තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇඹිල්මීගම පඤ්ඤාකිත්ති හිමියෝ මෙසේ පැවසුවා.

“විහාර භූමියට දින තුනක පමණ කාලයක් තිස්සේ නාදුනන පුද්ගලයෙක් පැමිණ තිබෙනවා. ඔහු ඊයේ (18) පෙරවරුවේ විහාරස්ථානය පහළ නුග ගස අසළ සිටිනු දහම් පාසැලේ උගන්වමින් සිටි ධම්මරතන හිමි දැක ඒ බව මට දැනුම් දුන්නා. මම ගිහින් කවුද කියලා බලන්න ද කියලා මගෙන් ඇහුවා. ගියාට කමක් නැහැ මොනවා හරි ප්‍රශ්නයක් නම් සෝභිත පොඩි හාමුදුරුවෝ දැනුවත් කරන්න කියලා මම උපදෙස් දුන්නා. පසුව මම දළදා මාලිගාවට ගියා. එතන දී සෝභිත හිමි දුරකතනයෙන් කතා කරලා කිව්වා පොඩි හාමුදුරුවන්ට වස පොවලා හොඳටම අමාරුයි කියලා. නුග ගස අසළ සිටි පුද්ගලයාට ඉවත්ව යන ලෙස දැනුම් දුන් අවස්ථාවේ ඔහු හාමුදුරුවන් පස්සෙන් පන්නාගෙන ඇවිත් ගෙළට පිහියක් තියලා වස බෝතලය පොවා ඇළට තල්ලු කොට තිබෙන බව තමයි දැන ගන්න තිබෙන්නේ. අතේ තිබුණු පැරසිටමෝල් කාඩ් පතක් ගෙන එයින් පෙති විශාල ප්‍රමාණයක්ද ඔහු පොඩි හාමුදුරුවන්ට පොවා තිබෙනවා. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ උන්වහන්සේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් ඉන්නවා.”

සිද්ධිය සම්බන්ධයෙන් පඤ්ඤාකිත්ති හිමියන් පේරාදෙණිය පොලීසියට පැමිණිල්ලක් කර තිබෙන අතර මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කොට තිබෙනවා.

මහනුවර – කමල් සුරවීර