hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 07, පෙ.ව. 11:52



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර ගන්නා ලෙසට ආණ්ඩුවට බල කරමින් ස්වාමීන් වහන්සේලා 5000ක් හෙට (08) උදෑසන 8.30ට කොළඹට වැඩම කරන බව 13ට එරෙහි ත්‍රෛනිකායික භික්‍ෂු එකමුතුව සඳහන් කරනවා.

මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාට ජීවත් විය හැකි රටක් නිර්මාණය කර ගැනීම උදෙසා ජාතිවාදයට, වර්ගවාදයට හා බෙදුම්වාදයට එරෙහිව උන්වහන්සේලාගේ වැඩම කිරීම සිදුවන බවද එම සංවිධානය පෙන්වා දෙනවා.

දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් නිකුත් කළ නිවේදනයට අනුව පාලකයන් ක්‍රියාත්මක විය යුතු බවත්, රටේ ස්වෛරීභාවයට, නිදහසට, භෞමික අඛණ්ඩතාවට හා සාධාරණත්වයට පිටින් කිසිවක් සිදුනොවිය යුතු බවත් 13ට එරෙහි තෛනිකායික භික්‍ෂු එකමුතුව අවධාරණය කරනවා.

13 වැනි සංශෝධනයට එරෙහිව ජනතාව එකතු කරගත් ජන බලවේගයක් නිර්මාණය කළ යුතු බව පවසන එම සංවිධානය එය ජාතිවාදී දේශපාලන කල්ලිවලට ඩැහැගැනීමට ඉඩ නොතබන බවද සඳහන් කරනවා.

ඒ අනුව ජාතිකවාදී වැඩසටහනක් තුළ සිටිමින් මෙම සංශෝධනය පරාජය කළ යුතු බවත්, ඒ වෙනුවෙන් තම සංවිධානය පෙනී සිටින බවත් 13ට එරෙහි තෛනිකායික භික්‍ෂු එකමුතුව පවසනවා.

මෙම වැඩපිළිවෙළ සමඟ රටේ සබුද්ධික ජනතාව, දේශපාලන නියෝජිතයන්, සිවිල් සංවිධාන, රණවිරුවන් ආදී පාර්ශ්ව රාශියක් එකතුවී සිටින බවද එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරනවා.