hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 29, ප.ව. 5:07



කලුබෝවිල හත්බෝධිය විහාරස්ථානයේ බෝධීන් වහන්සේ අසල තැම්පත් කර තිබෙන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ රනින් නිම කළ ඌර්ණ රෝම ධාතුව සොරා ගත් සැකකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය පවසනවා.

කළුබෝවිල ජය සමගි මාවත හංදියේදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව සොරා ගෙන තිබූ ඌර්ණ රෝම ධාතුව පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඉකුත් 19 වෙනි දින අලුයම් කාලයේ දී විහාරස්ථාන භූමියට ඇතුල් වු පුද්ගලයකු කිසියම් උපකරණයක් ආධාරයෙන් ප්‍රතිමාව තැන්පත් කර තිබෙන කුටියේ දොර විවෘත කර රනින් නිම කරන ලද ග්‍රෑම් දහසයක් බර ඌර්ණ රෝම ධාතුව සොරා ගෙන ගොස් ඇති බවට විහාරාධිපති කරවනැල්ලෙ කස්සප හිමියන් කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ  විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස සැකකරු අත්අඩංගුව ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියකු පැවැසුවා.

විහාරස්ථානය ආසන්න නිවාසවල සීසීටීවී දර්ශන පරික්ෂා කිරීමේදී සැකකරු හඳුනා ගැනීමට  හැකි වූ බව පොලිසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සොරාගත් එම ඌර්ණ රෝම ධාතුව කළුබෝවිල ප්‍රදේශයේ රන් භාණ්ඩ  නිෂ්පාදනය කරන පුද්ගලයකුට රුපියල් අසූ පන්දහසකට විකුණා  තිබියදී සොයාගැනීමට හැකිවූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසුවා.

සැකකරු ලබාගත් මුදල් වලින් හොරෙන් මත්කුඩු පානය කර තිබූ බව පොලිසිය කියයි.

බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර, ජේෂ්ඨ පොලිස් අධිකාරි රොහාන්  පෙරේරා , සහකාර පොලිස් අධිකාරි චන්දන ගමගේ මහත්වරුන්ගේ උපදෙස් මත ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර , උප පොලිස් පරීක්ෂක අනුර පොලිස් සැරයන් 51885 කරුණාතිස්ස  , පොලිස් කොස්තාපල් කොස්තාපල්වරුන් වන 87699 චානක  ,70471  තෙන්නකෝන්  , කාන්තා පොලිස් කොස්තාපල්  10911 ඩිලානි මහත්ම මහත්මීහු පරීක්ෂණ පවත්වයි.