hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 17, ප.ව. 2:04



ඇමරිකාවේ  පරිගණක මෘදුකාංග ඉංජිනේරු උපාධියකට හිමිකම් කියු 25 හැවිරිදි පුද්ගලයකු කොළඹ ප්‍රදේශයේ  සොරකම් සහ කොල්ලකෑම් රැසක් සම්බන්ධයෙන් නාරහෙන්පිට කිතුල්වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හොරයින් මත්කුඩු ග්‍රෑම් 7 මිලිග්‍රෑම්  800 ක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

කොල්ලකෑම් 25ක් සහ සොරකම් 6 සිදු කර රුපියල් කෝටියක පමණ දේපල කොල්ලකා ඇති සැකකරුගෙන් සිදු කළ දීර්ඝ  ප්‍රශ්න කිරීමේ දී රුපියල් ලක්ෂ 30ක පමණ වටිනාකමින් යුත් ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන හා රන්මාල කීපයක්  පොලිසිය මඟින් සොයාගෙන තිබෙනවා.

මහ මග නවතා තිබෙන යතුරුපැදි සොරා ගෙන කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල සැරිසරමින් මහමග තනිවම යන කාන්තාවන් ඉලක්ක කරගෙන ඔවුන් සතුව තිබෙන අත්බෑග් කොල්ලකෑම මෙම සැකකරු කාලයක සිට සිදු කර තිබූ බව පොලිස් විමර්ශනවලදී යන අනාවරණ වී තිබෙනවා.

සැකකරු එම අත් බෑග් වල තිබෙන මුදල් වලට අමතරව ජංගම දුරකථන සහ රන්භාණ්ඩ මෙන්ම ATM කාඩ්පත් ලබා ගෙන ඔහු ලබා තිබෙන පරිගණක දැනුමද උපයෝගී කරගෙන  එහි මුදල් ද ලබා ගෙන ඇතැයි  පොලිසිය කියයි.

පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් අධ්‍යාපනය ලබා ඇති සැකකරු ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස කතා කිරීමටත් ලිවීමටත් සහජ දක්ෂතාවයක් දක්වන්නෙක් බවත් පොලිසිය පවසයි.

සැකකරු මහරගම දෙපානම ප්‍රදේශයේදී නීතිඥවරියකගේ අත්බෑගය කොල්ල කා එහි තිබූ තිබූ වටිනා ජංගම දුරකතනය ද ලබාගෙන ඒ ටි  එම් කාඩ් පතේ ද මුදල් සියල්ල ලබාගෙන තිබූ බව පොලිස් නිලධාරියකු පැවැසුවා.

නාරාහෙන්පිට, වැල්ලම්පිටිය, මහරගම, කොහුවල, මිරිහාන, පිලියන්දල, මාලබේ, වැලිකඩ ආදී පොලිස් වසම් වලදී  කොල්ලකෑම් සහ යතුරුපැදි සොරා ගැනීම් සිදුකර තිබූ බව  සැකකරුගෙන් දීර්ඝ ලෙස සිදු කළ ප්‍රශ්න කිරීමේදී කිරීමේ දී අනාවරණය කර ගැනීමට හැකි වී තිබෙනවා.

ජංගම දුරකතනයෙන් ඇමැතුමක් ලබා ගන්නා ආකාරයෙන් වෙළඳසැල් ඉදිරිපිට නවතා තිබෙන යතුරුපැදි අසල මද වේලාවක් රැඳී සිට එහි හිමිකරු ළඟ පාතක නොමැති බවට තහවුරු කරගැනීමෙන් අනතුරුව යතුරු පැදි රැගෙන යාම  කර තිබූ බවත් පොලිසිය කියයි.

එයාකාරයෙන් යතුරුපැදි හයක් වරින්වර සොරකම් කර කිසියම් කොල්ලකෑමක් සිදු කිරීමෙන් අනතුරුව එම යතුරු පැදිය මහමග දමා දමා වෙනත් යතුරු පැදියක් සොරාගෙන පලා යාම සැකකරු පුරුද්දක් ලෙස  සිදු කර ඇති බව පොලීසිය කියයි.

 25 හැවිරිදි සැකකරු මිතුරන් මාර්ගයෙන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට දැඩිව ඇබ්බැහිව සිටින්නෙක් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු  මහරගම  පන්නිපිටිය සෙත්සිරි පෙදෙස පදිංචිකරුවෙක්.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ