hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 9:53



කුඩා දරුවන්ට මෙන්ම ගර්භණී හා කිරිදෙන මව්වරුන්ට ලබාදෙන ත්‍රීපෝෂවල පිලිකාකාරක ඇෆලටොක්සීන් අඩංගු බවට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පසුගියදා සිදු කළ ප්‍රකාශයත් සමඟ ඒ පිළිබඳව සමාජයේ කතාබහක් ඇති වුණා.

ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම විසින් ගර්භණී මව්වරුන්ට ලබාදී ඇති නිෂ්පාදනවල තත්ත්වය සම්බන්ධයෙන් කිසිදු අනියත බියක් ඇතිකර නොගත යුතු බව එහි සභාපති දීප්ති කුලරත්න මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා කියා සිටියේ නිසි ප්‍රමිතීන්ට අනුව සිය නිෂ්පාදන සිදු කරන බවයි.

මාස දෙකකට පමණ පෙර තම සමාගමේ නිෂ්පාදිත ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සින් සංඝටකය වැඩි ප්‍රතිශතයක් පැවති බව ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා සඳහන් කළා.

කෙසේවෙතත් ඒවා මව්වරුන්ට ලබා නොදුන් බවයි ඔහු සඳහන් කළේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමයේ සභාපති දීප්ති කුලරත්න,

“ඇෆ්ලටොක්සින් නැති බඩඉරිඟු සොයා ගැනීමේදී දැන් ලොකු ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. මොකද දේශීය වෙළෙඳපොළේ බඩඉරිගු ලොකු හිඟයක් තිබෙනවා. අපි හැම කන්ටේනරයක්ම චෙක් කරනවා. ඒකෙදි ඇෆ්ලටොක්සින් සීමාව වැඩිවුණු ඒවා ප්‍රතික්ෂේප කරනවා. අනෙක් ඒවා අරගෙන තමයි ත්‍රිපෝෂ හදන්නේ. ඇෆ්ලටොක්සින් වැඩිවෙච්ච ඒවා තිබුණා.. ඒවා විනාශ කරලා දැම්මා. ගැබිනි කාන්තාවන්ට ඒවා දුන්නේ නැහැ.”

මේ අතර, කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති කේ.ඒ.පී.බොරලැස්ස මහතා කියා සිටියේ සභාපතිවරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සංගමය තවදුරටත් පෙනී සිටින බවයි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යවරයාද ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ත්‍රීපෝෂ පිළිබද ප්‍රශ්නයක් ඇති බව තමන්ද පිළිගන්නා බවයි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට හා දරුවන්ට ලබා දෙන ත්‍රීපෝෂ සාම්පල කිහිපයක ඇෆ්ලටොක්සින් නැමැති පිළිකාකාරකය අඩංගු බවට සමහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සභාපති උපුල් රෝහණ මහතා ඉකුත් 20 වැනිදා සිදු කළ හෙළිදරව්ව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප කළා.

කෙසේ වෙතත් ත්‍රීපෝෂවල ඇෆ්ලටොක්සීන් සීමාව ඉක්මවා අඩංගු බවට දත්ත ඇතුළත් පරික්ෂණ වාර්තා 6ක් අදාළ සෞඛ්‍ය අංශ වෙතින් අප වෙත යොමු කළ අතර ආහාර ආරක්ෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ද ඒ බව සනාථ කරමින් සඳහන් කළේ ත්‍රීපෝෂවල ඇෆ්ලටොක්සින් අධිකව අඩංගු වූ බවට මීට මාස කිහිපයකට පෙර සිදු කළ පරික්ෂණවලදී තහවුරු වූ බවයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් ඊයෙත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරුණා.