hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 30, ප.ව. 1:16



විදුලි කප්පාදුව හේතුවෙන් මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා.

මීට අමතරව විවිධ ක්ෂේත්‍රවල නිරත වන ජනතාවද මැසිවිලි නගන්නේ පවතින විදුලි කප්පාදුව නිසා තමන්ට ගැටළු රැසකට මුහුණ දීමට සිදුව ඇති බවටයි.

“රටේ අනවශ්‍ය වියදම් නවත්තලා ඉවරවෙලා බලධාරීන්ට ඇයි මේ දරුවන් වෙනුවෙන්, මේ අධ්‍යාපනය වෙනුවෙන් මේ වෙලාවේ විදුලිය මේ අඛණ්ඩව මේ පැය විසිහතරේ ලබා දෙන්න බැරිකම කියලා අපිට තියෙන ගැටළුවක්. දැන් මේ හැත්තෑ පස්වෙනි නිදහස් උත්සවය කියලා, මල් මාලාවට රුපියල් අනූදාහක් වියදම් කරනවා, ජාතික ගීයට ලක්ෂ පහළොවක් විතර වියදම් කරන මේ කාලේ, මේ දරුවන්ට මාසේ ඇතුළතදී ලයිට් දෙන්න පුළුවන්කම තියෙද්දී, නොදී ඉන්නේ මොකද කියන එක තමයි අපිට තියෙන ගැටලුව.”

“අපිට ඇත්තටම බිස්නස් එකක් කරගන්නත් නැහැ. ජොබ් එක බාගයක් කරලා නවත්තලා මේ යන ගමන්. කඩවල් වහලා එහෙන් විභාගේ ලියන ඒ ළමයි කොහොමද පාඩම් කරන්නේ? මොකෝ ඉටිපන්දම් මේ. ඇයි ලාම්පුතෙල්. ඊයේ, පෙරේදා ලාම්පුතෙලුත් ඒ කියන්නේ තිබුන්නෑනේ හරියට.”

මේ අතර පවතින විදුලි කප්පාදුව හේතුවෙන් සංචාරක කර්මාන්තයටද දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින බවට සංචාරක හෝටල් ආශ්‍රිතව ජීවනෝපාය රැගෙන යන ජනතාව පෙන්වා දෙනවා.

“ලංකාවට එන ආදායම නැති වෙනවා. ගෙස්ට්ලා හැරිලා යනවා ඉතින් විදුලිය නැති නිසා.”

“මේ සංචාරක ව්‍යාපාරයේ නියුතු අපි සියලු දෙනාම විදේශ විනිමය උපයන අය. ඒක ගැන හිතලවත් ඉක්මනින් මේ සංචාරක කලාප ප්‍රදේශවලවත් අඩුම ගානේ මේ මේ විදුලි කප්පාදු නතර කරලා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. “

කළුතර උතුර, වස්කඩුව, පොතුපිටිය ඇතුළු දකුණු පළාතේ සංචාරක හෝටල් රැසක් අශ්‍රිතව මෙම ගැටළුව මතුව තිබෙනවා.

විදුලි කප්පාදු කාලය තුළ ආරක්ෂාවට ගැටලු මතුවිය හැකි බැවින් සංචාරකයින් බොහෝ විට හෝටල් තුළම රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් විදේශිකයන් මෙසේ අදහස් දක්වා සිටියා.

“විදුලි කප්පාදුව නිසා මම ගොඩක් බය වුණා. ඒ නිසා අපිට ගොඩක් කරදර වලට මුහුණ දෙන්න සිදුවුණා. මම හිතනවා ඉස්සරහට මේ ප්‍රශ්න ගැන අවධානය යොමුකරලා ඒවා විසඳන්න කටයුතු කරයි කියලා.”

“ශ්‍රී ලංකාවට මොකද මේ වෙලා තියෙන්නේ? හැම අවුරුද්දකම මම ශ්‍රී ලංකාවට එනවා. මම හත් වතාවක් ශ්‍රී ලංකාවට ඇවිල්ල තියනවා. නමුත් මම දැන් කම්පනයට පත්වෙලා ඉන්නේ. මේක හොඳ නිවාඩුවක් නෙවෙයි. මේක මට බොහොම නරක නිවාඩුවක්. මේක ලොකු හිසරදයක්. සැප පහසුව නැහැ. විදුලිය නැහැ.”