hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 පෙබරවාරි 01, පෙ.ව. 9:41



දුම්රිය ධාවනයට අවශ්‍ය සේවකයන් හිඟ වීම නිසා ගතවූ දින හතරක කාලය තුළ දුම්රිය ගමන්වාර 153කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු වී තිබෙනවා.

දුම්රිය නියාමක, රියදුරු හා රියදුරු සහායකයන් බොහෝ පිරිසක් ඉකුත් දෙසැම්බර් 31 වැනිදායින් පසු විශ්‍රාම යෑම නිසා මෙම තත්ත්වය උද්ගත වී තිබෙනවා.

මෙම තත්ත්වය නිසා දුම්රිය ගමන් වාර 30 ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණත් පසුව එම නිල නිවේදනය දුම්රිය ගමනාගමන අධිකාරීවරයා විසින්ම අවලංගු කර තිබුණා.

එවන් තත්ත්වයක් මැද ගතවූ දින හතර තුළද දුම්රිය ගමන්වාර වැඩි වශයෙන් අවලංගු වීමෙන් මගීන් දැඩි පීඩාවකට පත්ව තිබුණා.

පසුගිය 28 වැනිදා මගී දුම්රිය 27 ක් සහ තෙල් හා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය 09 ක් වශයෙන් ගමන්වාර 36 කුත්, 29 වැනිදා මගී දුම්රිය 29 ක් සහ තෙල් හා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය 15 ක් වශයෙන් ගමන් වාර 44 කුත්, පෙරේදා (30 වැනිදා) මගී දුම්රිය 36 ක් සහ තෙල් ප්‍රවාහන දුම්රිය හා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය 07ක් වශයෙන් ගමන්වාර 43 කුත්, ඊයේ 31 මගී දුම්රිය 22 ක් සහ තෙල් හා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය 08 ක් වශයෙන් 30 කුත් අවලංගු වී ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසුවා.

අද (01) වැනිදා ද මෙවැනිම ආකාරයෙන් දුම්රිය අවලංගු වීම් සිදුවිය හැකි බවද ඔහු සඳහන් කළා.

උද්ගතව ඇති මෙම තත්ත්වය නිසා මගී දුම්රියවල විශාල තෙරපීම් මත ගමන් පහසුව සලසා ගැනීමට සිදුව ඇති අතර දුම්රිය දොරවල්වල ගමන් කිරීමට සිදු වීම නිසා අනතුරු 3 ක් ද මේ වන විට වාර්තා වී තිබෙනවා.