hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 15, පෙ.ව. 9:47



මහනුවර දුම්රිය ස්ථානයේ දුම්රියේ මැදිරියක වැටී තිබිය දී අහුලාගත් නවසීලන්ත ජාතිකයෙකුට අයත් මුදල් පසුම්බියක් එහි තිබූ රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් හා බැංකු කාඩ්පත් සමඟ යළි බාර දීමට මහනුවර දුම්රිය ස්ථානයේ දුම්රිය ධාවනාගාර සහය තාක්ෂණ ශිල්පියෙකු පියවර ගෙන තිබෙනවා.

කොළඹින් පස්වරු 3.30 ට ධාවනය ආරම්භ වූ නගරාන්තර සීඝ්‍රගාමි දුම්රියෙන් නෙදරලන්ත ජාතික මිතුරෙක් ද සමඟ මහනුවර ට පැමිණි නවසීලන්ත ජාතිකයාගේ මුදල් පසුම්බිය අහුලාගත් දුම්රිය සහය තාක්ෂණ ශිල්පි වයි.එම්.ජී.එස්  සේනාරත්න මහතා එය දුම්රිය ආරක්ෂක නිලධාරීන් වන ඒ.ඩී බණ්ඩාර හා ඩී.එන්.ජී මෙන්ඩිස් යන මහත්වරුන් මගින් මහනුවර දුම්රිය ස්ථානයේ දුම්රිය ආරක්ෂක අංශයේ කාර්යභාර නිලධාරි ඒ.ඒ.එස් අමරකෝන් මහතා වෙත බාර දී තිබෙනවා.

මුදල් පසුම්බියේ රුපියල් 91150.00 ක මුදලක් ද ඔස්ට්‍රේලියානු ඩොලර් 05 ක නෝට්ටුවක් ද විදේශීය ජාතිකයාට අයත් රියදුරු බලපත්‍රය, ක්‍රෙඩිට් කාඩ්පත් දෙකක්  තිබී ඇත.

දුම්රිය ආරක්ෂක අංශය මගින් ඒ සම්බන්ධව මහනුවර සංචාරක පොලිස් ඒකකය දැනුවත් කර තිබේ. කොළඹ සිට මහනුවරට දුම්රියෙන් පැමිණෙමින් සිටිය දී මුදල් පසුම්බිය නැති වී තිබෙන බවට නවසීලන්ත ජාතිකයා සංචාරක පොලිස් ඒකකට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අවස්ථාවේ පොලීසිය මැදිහත්ව ඔවුන් මහනුවර දුම්රිය ස්ථානය වෙත පෙරේදා (13) පෙරවරුවේ රැගෙන ගොස් එය අහුලාගත් පුද්ගලයා අතින්ම හිමිකරු වෙත බාර දීමට පියවර ගෙන ඇත.

ශ්‍රී ලාංකිකයින් ආගන්තුක සත්කාරය ඉහළින්ම දක්වන පිරිසක් බවත් තම කිසිදු අඩුවකින් තොරව මුදල් පසුම්බියේ තිබූ දේවල් තමන්ට ලැබුණු බවත් නවසීලන්ත ජාතිකයා පැවසුවා.

සංචාරක පොලිස් ඒකකය සහ දුම්රිය ආරක්ෂක අංශය මෙහි දී තමන්ට දැක් වූ සහය අගය කරන බව ද ඔහු සඳහන් කළා.

මහනුවර සංචාරක පොලිස් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් මහගෙදර මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් 47018 ඉන්ද්‍රජිත්, කාන්තා පොලිස් සැරයන් 1928 නිරංජලා යන නිලධාරීන් මුදල් පසුම්බිය නවසීලන්ත ජාතිකයාට ලබාදීම සඳහා වන සම්බන්ධීකරණ කටයුතු සිදු කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: