hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 13, ප.ව. 5:13



පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර ඇතුළු රජයෙන් ඉවත් වූ දේශපාලඥයන් කණ්ඩායමකගේ සහභාගිත්වයෙන් මහනුවර පැවති උත්තර සභාව දේශපාලන රැස්වීම අවසන් වීමෙන්  අනතුරුව මහනුවර තරුණ කණ්ඩායමක් ඊට එරෙහිව දැඩි විරෝධය පළ කළා.

මහනුවර දිස්ත්‍රික් උත්තර සභාව දේශපාලන රැස්වීම මහනුවර පුෂ්පදාන ශාලාවේදී අද (13) පැවැති අතර එම රැස්වීම අවසන් වීමෙන් අනතුරුව විමල් වීරවංශ මහතා ඇතුළු දේශපාලනඥයින් පිරිස ශාලාවෙන් පිටතට යන අවස්ථාවේ එම ස්ථානයට පැමිණ සිටි තරුණයෝ කණ්ඩායමක් ඔවුන්ට හූ කියමින් ඉතාමත්ම සැඩ පරුෂ ආකාරයෙන් බැන වැදීම හේතුවෙන් දෙපිරිස අතර දැඩි උණුසුම් කාරි තත්ත්වයක් උද්ගත වූ බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා. 

මෙම විරෝධතාව මධ්‍යයේ විමල් වීරවංශ මහතා තම ආරක්ෂකයන් සමග උත්සව ශාලාවෙන් බැහැරව තම වාහනයෙන් පිටත්ව ගියද පැවති උණුසුම් තත්ත්වය හේතුවෙන් වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ ඇතුළු පිරිසක් ශාලාව තුලින් එලියට පැමිණීමට නොහැකිව ශාලාව තුළම සිටි බවයි වාර්තා වන්නේ.

දෙපාර්ශ්වය අතර කලබලකාරී උණුසුම් තත්වය දිගින් දිගටම පවතිද්දී වාසුදේව නානායක්කාර හා තිස්ස විතාරණ පොලිස් ආරක්ෂාව මැද තම වාහන වලට නැග පිටවී ගියේ දැඩි හූ හඬ විරෝධය මැදයි.                                 

මෙහිදී දෙපාර්ශවය අතර උණුසුම් තත්වය විනාඩි 15 ක් පමණ පැවති අතර එම අවස්ථාවේ එහි සිටි පොලිස් නිලධාරීන් ඊට එරෙහිව රාජකාරි නොකොට පසෙකට වී නිහඬව බලා සිටියා.                                               

මෙහිදී විරෝධතාවයට එක්වූවන් සඳහන් කළේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ වැනි පුද්ගලයෝ මූලික වී මහින්ද සුළඟ ඇතිකොට එම රජයද ස්ථාපිත කොට ඇමතිධූර දරමින් රටේ විනාශයට මූලික වී ඔවුන්ගේ පුද්ගලික අවශ්යතා ඉටු නොවීම හේතුවෙන් රජයෙන් ඉවත්ව නැවතත් ජන බලවේග හදමින් ජනතාව ගොනාට අන්දමින් ජනතාවගේ කරමතින් පාර්ලිමේන්තුවට පැමිණීමට උත්සාහ දරනු විනා, ඔවුන්ගේ මඩිය තර කර ගැනීමට උත්සාහ දරනු විනා රටට, ජාතියට එම කණ්ඩායමේ ඇති ආදරයක් නොමැති බවයි.

කුමන රජයක් පැමිනුනත් එම රජයේ අමාත්‍ය ධුර දරමින් සැප සම්පත් විඳින විමල් වීරවංශ ඇතුලු කණ්ඩායම මෙවරද මෙම  උත්සාහ දරනුයේ එම සුඛ විවරණ සඳහා මිසක ජනතාවට ආදරේකින් නොවන බවද විරෝධතාවට එක්වූවන් පැවසූවා.                                                   

දේශපාලඥයන් පිටව ගිය පසු එම ස්ථානයේ උණුසුම පහව ගිය අතර එවිට පොලිස් නිලධාරීන් පැමිණ විරෝධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගත්තා.

මහනුවර – කමල් සුරවීර