hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 31, පෙ.ව. 8:00



ලබන වසරේ (2023) ජනවාරි මස 1 වැනිදා සිට නිකුත් කරනු ලබන වාහන අංක තහඩු සඳහා පළාත් අක්ෂරයක් ඇතුළත් නොවන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිෂාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසනවා.

රථවාහන ලියාපදිංචියේ දී සහ පැවරීමේ දී අංක තහඩුවේ අදාළ පළාත් අක්ෂරය ඉවත් කරන බවයි ඔහු සඳහන් කළේ

හෙතෙම මේ බව පැවසූවේ ඊයේ (30) මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර 2023 වසරේ මුල් කාර්තුවේ සිට රියැදුරු අකුසලතා ලකුණු ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව වාහන රියැදුරු බලපත්‍ර අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ලබන වසරේ මාර්තු මස 31 වැනිදාට පෙර ආරම්භ කරන බවත් රියැදුරකුට අකුසලතා ලකුණු 24ක් එකතු වූ විට ඔහුගේ රියැදුරු බලපත්‍රය වහාම අවලංගු කිරීමට කටයුතු කරන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

එලෙස අවලංගු කිරීමෙන් පසුව වසරක කාලයක් යනතුරු අදාළ රියැදුරුට බලපත්‍රයට අයැදුම් කළ නොහැකි බවත් වසරකින් පසුව නැවත නව රියැදුරු බලපත්‍රයක් ලබා ගන්නා ආකාරයට අයැදුම්පතක් යොමු කළ යුතු බවත් වීරසිංහ මහතා පැවසුවා.

ඊට අමතරව වාහන ලියාපදිංචි කිරීම සඳහා මෙතෙක් භාවිත කළ කඩදාසි කොළ 12කින් යුත් සංකීර්ණ ලියාපදිංචි කිරීමේ ආකෘති පත්‍රය කඩදාසි කොළ 6 ක් දක්වා අඩු කළ බවත් එම නව ලියාපදිංචි කිරීමේ ආකෘති පත්‍රය ලබන ජනවාරි 1 වැනිදා සිට භාවිත කරන බවත් හෙතෙම ප්‍රකාශ කළා.

එම ලිපි ගොනුවේ සංකීර්ණ බව පිළිබඳව ලැබී තිබූ පැමිණිලි සැලකිල්ලට ගනිමින් ජනතාවට පහසුවෙන් භාවිත කළ හැකි ආකාරයට සහ කඩදාසි සම්බන්ධය රට මුහුණ දී සිටින ගැටලුව පිළිබඳ අවධානය යොමු කරමින් මෙම වෙනස් කළ බවත් ශාන්ත වීරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා.