hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 06, පෙ.ව. 9:20



අවංකවම රටට හෝ ජනතාවට සේවය කරන කිසිදු දේශපාලනඥයකු මේ රටේ නොමැති බව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී  ඥානරතන නාහිමිපාණන් වහන්සේ පවසනවා.

රට තුළ නිෂ්පාදන ප්‍රවර්ධන නියාමන කාර්යාංශයක් ස්ථාපිත කිරීම පිළිබඳව නාහිමි දැනුවත් කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සංගමයේ සාමාජික පිරිසක් ඊයේ (05) අස්ගිරි විහාරයට පැමිණි අවස්ථාවේ උන්වහන්සේ එම අදහස් පළ කළා.                                                              

අමාත්‍ය ලේකම්වරු හමුවේ තවදුරටත් අදහස් පළ කළ අස්ගිරි නාහිමියෝ මෙසේද සඳහන් කළා.

“මේ රටේ කිසි දෙයකට නිසි සැලැස්මක් නෑ. කිසි දෙයකට ජාතික ප්‍රතිපත්තියක් නෑ. රටේ ඉන්න දේශපාලනඥයෝ බහුතරයක් තමන් ගැන විතරයි හිතන්නේ. රට ගැන හිතන්නේ නෑ. ජනතාව ගැන හිතන්නේ නෑ. පොරොන්දු දෙනවා විතරයි. හැමදාම ඡන්ද කාලයක් ළංවෙනකොට මොකක් හරි අනවශ්‍ය දෙයක් ඉස්සරහට දානවා. දැන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන කියනවා. ඔය සංශෝධන රටේ ජනතාවට අවශ්‍ය නෑ. රටේ ජනතාව හිතන්නේ වේලක් කෑවොත් ඉතිරි වේල කන එක ගැනයි. ඒ ප්‍රශ්න විසඳන එක ගැනයි මුල්තැන දෙන්න ඕනේ. අපි මේවා ගැන දේශපාලනඥයන්ට කිව්වට ඇති වැඩකුත් නෑ. කිව්වට අහන්නෙත් නෑ”                 

මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය ලේකම්වරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් ජයසුන්දර කියා සිටියේ, මේ වනවිට මේ රටේ ආර්ථික සංවර්ධන නිලධාරීන් එක්ලක්ෂ පනස් දහසකට අධික පිරිසක් කිසිදු හෝ සේවයක් නොකොට මාසික වැටුප පමණක් ගන්නා බවයි.

මෙම සංවර්ධන නිලධාරීන් සඳහා මාසිකව වැටුප් වශයෙන් රුපියල් ලක්ෂ හැටහත් දහස් පන්සීයකට අධික මුදලක් රජයෙන් ගෙවන බවත් මෙය මහා අපරාධයක් බවත් සඳහන් කළ හෙතෙම මෙම නිෂ්පාදන ප්‍රවර්ධන කාර්යාංශය ස්ථාපිත කොට තරුණ උපාධිධාරීන් එක එල්ලේ රටේ සංවර්ධන ක්‍රියාවලියට දායක කරගැනීමේ හැකියාව පවතින බවත් මෙමඟින් රටේ ආර්ථිකය ක්‍රමානුකූලව ගොඩනැඟිය හැකි බවයි.