hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2022 ජූලි 17, ප.ව. 3:58



අරගලකරුවන් යැයි කියා ගනිමින් පාර්ලිමේන්තුවට පහර දීමට උත්සහ කළ ත්‍රස්තවාදීන්ව තරාතිරම නොබලා අත්අඩංගුවට ගත යුතු බව එක්සත් රණවිරු ප්‍රජාවේ කැඳවුම්කරු අසේල ධර්මසිරි මහතා පවසයි.

මෙම ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් බරපතල තුවාල ලත් රණවිරුවන් දෙදෙනෙක්  හා තවත් ආරක්ෂක අංශයේ 16 දෙනෙක් මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔවුන්ට සාධාරණය ඉටුවිය යුතු බවත් ඒ මහතා සඳහන් කළා.

මහනුවරදී අද (17) පැවැති මාධ්‍ය හමුවකදී ධර්මසිරි මහතා මේ බව පැවසුවා.

එහිදී ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද සඳහන් කළා.

“මේ රටේ දේශපාලන පක්ෂ තිබෙනවා. සිවිල් සංවිධාන තිබෙනවා. නොයෙක් සංවිධාන තිබෙනවා. අරගලකරුවන් අතර සිටින ත්‍රස්තවාදීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ප්‍රහාර සැළසුම් කළා. රට ආරක්ෂා කරන්න ඉන්න රණවිරුවන්ට යකඩ පොලු වලින් ගැහුවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ රටේ මූලික නීතියයි. සියලුම රාජ්‍ය සේවකයින් පොරොන්දුවක් දීලා තිබෙනවා රාජ්‍ය ආරක්ෂා කරන්න. සිවිල් පුරවැසියන් ප්‍රතිඥාවක් නොදුන්නත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින්න ඔවුන් බැඳී සිටිනවා. ඕනෑම කෙනෙකුට අරගල කරන්න පුළුවන්. භාෂණයේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් තහවුරු කර තිබෙනවා. නමුත් මූලික නීතියෙන් පිට කිසියම් කටයුත්තක් කරනවා නම් ඒක ත්‍රස්තවාදය මිස වෙනත් දෙයක් නෙවෙයි. සාමාකාමී අරගලකරුවන් යැයි කියා ගත් ත්‍රස්තවාදීන් පිරිසක් පාර්ලිමේන්තුව අභියසදී රණවිරුවන්ට පහර දුන්නා. පහර කෑ අය අතර රණශූර පදක්කම් තිබෙන රණවිරුවෙක් ඉන්නවා. එදා එක රණවිරුවෙක් හරි අවි පත්තු කළා  නම් රටම ලේ විලක් වෙනවා. නමුත් රණ විරුවන්ගේ දැඩි විනය ගරුක බව නිසා ඒ තත්වය ඇති වුනේ නෑ .

ත්‍රිවිධ හමුදාව ඉන්නේ රාජපක්ෂලා ආරක්ෂා කරන්න නොවෙයි. මේ රටේ පුරවැසියන් ආරක්ෂා කරන්නයි. ලාල් කාන්තලා , හදුන්නෙත්තිලා පාර්ලිමේන්තුවේ පිවිසුම ළඟට ගිහින් කිව්වා රාජපක්ෂලාගේ බංකරය කඩන්න එන්න කියලා. මේ රටේ නීති හදන පනත් සම්මත කරන තැන කුඩු කරන්න කියලා මේ අය කිව්වේ. ඔය දෙන්නාම පාර්ලිමේන්තුවේ විශ්‍රාම වැටුප ගන්නවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නීතියට පටහැනිව කටයුතු කරන්න කියලා තමයි මේ අය ජනතාවට කියන්නේ. බුද්ධි අංශ දෙන්නෙක්ගේ අනන්‍යතාවය අරගලකරුවන් විසින් හෙළි කරත්දී අපි කිව්වා ඒක කළ අය අත්අඩංගුවට ගන්න කියලා. නමුත් පොලිස්පති ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුණේ නැහැ. එදා අපි කිව්ව දේ කළා නම් අද මේ විනාශය වෙන්නේ නැහැ. මේ වෙනකොට කිසිම රණවිරුවෙක් අරගලයට සක්‍රියව දායකත්වයක් දීලා නැහැ. යුද්ධයේදී රණවිරුවන් 27500 ක් මිය ගියා. තවත් 14500 ක් ආබාධිත වුණා. මේ කිසි කෙනෙක් අරගලයට ආපු නැති හේතුවක් තිබෙනවා. රණවිරුවන්ට පහර දුන් අය අත්අඩංගුවට ගත්තේ නැත්නම් අපි කොළඹ වටලනවා.”

මහනුවර – කේ.එල්.සුරවීර