hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 පෙබරවාරි 02, ප.ව. 5:02



සැලසුම් කර තිබුණේ තමාව නිදහස් කරන්න නොව හැකිනම් ඝාතනය කරන්න බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා පවසනවා.

දින 167ක් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඊයේ (01) ඇප හිමි වූ වසන්ත මුදලිගේ විසින් අද (02) කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් කියා සිටියේ, “මර්දනය ඉදිරියේ ජනතාව හිස නොනැමීම හමුවේ අපිව නිදහස් කරන්න සිදු වුණා.” යනුවෙන්.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ, තමන්ව පෑලියගොඩ පොලීසියට රැගෙන ගොස් සඟවා තබා ගත් බවත්, පසුදා පාන්දර රෙදිවලින් ඔතා තමන් ව එඬේරමුල්ල පොලීසියට අරන් ගිය බවත්, ඔහු එහි රැගෙන යන විට එම පොලිස් ස්ථානය හිස් කොට තැබූ බවත්, “විජේවීරට වුණු දේ උඹට මතක ද?” යනුවෙන් අසා මරණ තර්ජන කරමින් දිගින් දිගටම රඳවාගෙන ශාරීරිකව සහ මානසිකව වධ හිංසා පැමිණ වූ බවයි.

ඔහුට සිදු වූ සිද්ධිය විස්තර කරමින් වසන්ත මුදලිගේ අදාළ මාධ්‍ය සාකච්ඡාවේ දී අනාවරණය කරමින් විස්තර කළේ,

“ඊට පස්සේ වාහනයක දාගෙන වෙරළබඩ පැත්තේ පොලිස් නේවාසිකාගාරයකට අරන් ගිහින් බිම් මහලේ කරුවල කාමරයක දාලා පැය ගාණක් රෙදිවලින් ඔතලා තිබ්බා. අවසාන කෑම වේල කන්න ඕනෙ ද කියලා ඇහුවා. තව දවසක් වාහනයක දාගෙන නවගමුවේ දේවාලය පහළ ගඟ අයිනේ පාළු පැත්තකට අරන් ගිහින්..කෝල් එකක් අරගෙන කාටද කියනවා සර් අපි අදාළ තැනට ඇවිත් තියෙන්නේ.. මොකද කරන්න ඕනේ කියලා. ඒ වෙලාවේ නවගමුව දේවාලේ ආරක්ෂාවට හිටිය පොලිස් නිලධාරියෙක් එනවා.. අන්න අරූ එනවා කියලා තව නිලධාරියෙකුට කිව්වා.. ඔහුව නවත්වන්න කියලා. මදූෂ්ව ඝාතනය කළ හැටි කිව්වා. මාව ඝාතනය කරන්න සැලසුම් කළා. මාව අරන් ගියේ විමර්ශන ස්ථානවලට ද? මේවට නිශ්චිත උත්තරයක් පොලීසිය දෙන්න ඕනේ. මේක සැලසුම්සහගතව කරපු දෙයක්. ඊට පස්සේ තමයි ත්‍රස්ත විමර්ශන ඒකකයට භාර දුන්නා. හොර රහසේ අපිව අරන් යද්දි, පොලීසියේ ඉන්න විශාල පිරිසක් අපිව ආරක්ෂා කළා. ඒ නිසා තමයි අද මම නිදහස් වුණේ. හැබැයි තාම මර්දනය නතර කරලා නැහැ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කියන්නේ කුරිරු පනතක්. නිදහස් කළා කියලා අරගලය ඉවර නැහැ. අරගලය අඛණ්ඩව යනවා. ඔවුන් ත්‍රස්තවාදය වපුරලා අපිට ලේබල් ගහනවා. ආණ්ඩු කොහොම පත්වුණත් අපේ ප්‍රශ්නය එහෙමමයි. එහෙම නැහැයි කියනවා නම් ආපසු හැරිලා බලන්න. අපේ ඇත්ත අයිතීන් වෙනුවෙන් අඛණ්ඩව අරගල කරනවා. ඕනෑම ආණ්ඩුවක් දණ ගස්වන බලයක් මේ රටට අවශ්‍යයි. ඒ සඳහා මැදිහත් වෙමු. අපි 4 වනදා විරෝධතාවයක් ප්‍රකාශයට පත්කරලා තිබෙනවා. 04 වනදා කොළඹ එන්න අපේ නිදහස දිනා ගන්න. කොළඹ එන්න බැරි අය ළඟම හන්දියට කළු කොඩියක් අරගෙන එන්න. අඩි 4යි 7තේ යකඩ කූඩුවක දාලා තිබුණා. අඳුරුම අඳුරු.. කිසිම ඉර එළියක්වත් එන්නේ නැහැ. නාන්න දුන්නේ කොමඩ් එකේ හෑන් ෂවර් එකෙන්. කෑම එක බිම දාගෙන යකඩ තහඩුවක කෑවේ. අපිව අසනීප කරන්නමයි එහෙම කළේ. ප්‍රතිකාරවලට යොමු කළෙත් ගොඩාක් පහු වෙලා.පොලීසියේ තරු ගහගන්න හීන නැති හැමෝම කතා කළා. මල්ලී අපිත් අරගලයේ තමයි කියලා කිව්වා.” යනුවෙන්.

අදාල මාධ්‍ය හමුවේ දී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු විසින් වැඩිදුරටත් අනාවරණය කළේ, ඕනෑම ආණ්ඩුවක් දණ ගස්වන බලයක් නිර්මාණය කිරීම වෙනුවෙන් කැපවෙන බවයි.