hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 03, ප.ව. 12:05



“සැලසුම් කරලා තිබුණේ මාව මෙහෙම නිදහස් කරන්න නොවෙයි. හැකිනම් ඝාතනය කරන්නයි. මර්දනය ඉදිරියේ ජනතාව හිස නමන්නේ නැතිව අඛණ්ඩව හිඳීම හමුවේ ඔවුන්ට අපිව නිදහස් කරන්න සිද්ධ වුණා.” යැයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඊයේ (02) කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී පැවසුවා.

පෙබරවාරි 4 වැනිදා විරෝධතාවක් ප්‍රකාශයට පත්කර ඇති බවත්, සියලුමදෙනා 4 වැනිදා කොළඹට පැමිණෙන ලෙසත් කොළඹට ඒමට නොහැකි අය තම ප්‍රදේශයේ ළඟම හන්දියට කළු කොඩියක් රැගෙන පැමිණ විරෝධය පළ කරන ලෙසත් වසන්ත මුදලිගේ ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

මෙහිදී තවදුරටත් කතා කළ වසන්ත මුදලිගේ මෙසේද කියා සිටියා,

“මාව අත්අඩංගුවට ගත්තේ පෑලියගොඩ විශේෂ පොලිස් ඒකකයෙන්. වරෙන්තුවකට කියලා මාව අත්අඩංගුවට අරගෙන මාව අරගෙන යනවා පෑලියගොඩ පොලිසියට. කිසිම පැහැදිලි කිරීමක් නැතුව පොලිසිය ඇතුළේ හංගලා වගේ තියලා පහුවදා කව්රුත් අවදි වෙන්න කලින් සිවිල්පිට වාහනයක දාගෙන රෙද්දකින් ඔතලා අරන් යනවා එඬේරමුල්ල පොලිසියට. එඬේරමුල්ල පොලිසියට යනකොට එඬේරමුල්ල පොලිසියේ හිටපු සියලු සැකකරුවෝ අයින් කරලා අපිව විතරක් ගේන නිසා අමුතු විදියකට අරන් යනවා. එඬේරමුල්ල පොලිසියට අරන් ගිහින් එහිදී පිස්තෝලයක් මගේ පැත්තට හරවලා විජේවීරට වුණු දේ උඹට මතකද, විජය කුමාරතුංගට වුණු දේ උඹට මතකද? ඒ නිසා උඹටත් ඒ ටිකමයි අපිට කරන්න ඕනකම තියෙන්නේ.

“හැබැයි මේ තත්ත්වය තුළ උඹව ඝාතනය කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා තැපලා අවුරුදු දෙකකින් විතර වරෙන් කියලා. එහි නිලධාරියෙක් කිව්වා. එහෙම කියලා ඉවරවෙලා මරනවා කියලා තර්ජනය කරලා අපිව දිගින් දිගටම රඳවා ගැනීම කළා. උසාවියට ඉදිරිපත් කරන්නේ නැතුව ප්‍රශ්න කිරීම් කරන්නේ නැතුව කොහොමවත් අදාළ නැති පොලිසියක් ඇතුළේ තියාගත්තා. එතනින් එහාට අපිව වාහනවල දාගෙන කව්රුත් දන්නේ නැති විදියට වෙරළබඩ පොලිසිය පැත්තේ තියෙන නේවාසිකාගාරයට අරගෙන ගිහිල්ලා පොලිස් නේවාසිකාගාරයේ බිම්මහලේ තියෙන කළුවර කාමරවලට දාලා කිසිම ප්‍රශ්න කිරීමක් කරන්නේ නැතුව රෙදිවලින් ඔතලා අපිව පැය ගාණක් තියනවා. අපි මේ ප්‍රශ්න ඔක්කොම කියන්නේ යුක්තිය සම්බන්ධ කාරණාවේදී ජනතාව මේ දේවල් දැනගන්න ඕන නිසයි.”