hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 01, පෙ.ව. 11:27



ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතට ගැනෙන වරදවල් සිදු කළ බවට ප්‍රමාණවත් කරුණු අධිකරණයට ඉදිරිපත්ව නැති බැවින් එම පනතට අදාළ නඩුවෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (31) නියෝග කළා.

දින 150කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුට අධිකරණයෙන් නිදහස් කිරීමෙන් අනතුරුව නැවතත් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත ගෙන යනු ලැබුවේ ඔහු කොටුව අධිකරණයේ කැඳවන නඩුවකට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බැවිණි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා අධිකරණයට කරුණු දක්වමින් වසන්ත මුදලිගේට එරෙහිව ත්‍රස්තවාදි පනතේ වරදවල් හතක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් සිදු කර ඇති බවත් රට අස්ථාවර කොට සිතැඟි පිරිසක් රටේ පාලනයට ගෙන ඒමට ක්‍රියා කිරීම, ආරක්ෂක නිලධාරීන් බිය ගැන්වීම, රාජ්‍ය දේපොළවලට හානි සිදු කිරීම, ගැමුණු විජේරත්නට මුදල් අවශ්‍ය පරිදි ලබා දෙන බව පවසා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබා දෙන ලෙසට සිදු කරන ලද ප්‍රකාශය, උඹ දැනගනින් උඹට වැඩි කාලයක් නැහැ, පළි ගන්නවා පරිස්සම් වෙයන් යනුවෙන් සහකාර පොලිස් අධිකාරිවරයකුට තර්ජනය කිරීම, විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ නිලධාරියකුට තර්ජනය කර සාපරාධී බලහත්කාරය පෑම, මෝටිවේෂන් අප්පච්චි අරගලයේ ප්‍රචණ්ඩත්වය නිසා ඉවත් වූ බවට සිදු කළ ප්‍රකාශය ආදි කරුණු සඳහන් කර ඇති බවට මහේස්ත්‍රාත්වරයා පැවසූ බව වාර්තා වෙනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කර ඇති බවත් එය අදාළ කිරීමට හේතු නැති බැවින් සැකකරු නිදහස් කරන ලෙසට සැකකරු වෙනුවෙන් කරුණු දක්වා ඇති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඉල්ලා තිබූ බවත් සැකකරුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ විධිවිධාන පතත යටතට ගැනෙන කිසිදු වරදක් සම්බන්ධයෙන් කරුණු අධිකරණයට ඉදිරිපත් වී නැති බැවින් සැකකරු නිදහස් කිරීමට නියෝග කරන බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා.

නඩුවේ දෙවන සැකකරු වන ගල්නෑව සිරිධම්ම හිමි සම්බන්ධයෙන්ද මේ කරුණුම සලකා බලන ලෙසට ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම කරුණු හිමියන් වෙත අදාළ නොවන බවත් ඉදිරියේදී කරුණු දක්වන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා අධිකරණයේ කරන ලද දැනුම් දීම මත නැවත නඩුව කැඳවීම මැයි 18 වැනි දිනට කල් තැබුණා.