hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජනවාරි 30, ප.ව. 6:05



ඇරැව්වල මාලිගාවත්ත පාරේ නිවසකට ජල බිල්පත ලබාදීම සඳහා ගිය අවස්ථාවේදී “උඹලා වතුර කැපුවාට මදිවට, බිල් දෙන්නත් එනවද යකෝ” යැයි ආවේගශීලීව කෑ ගැසූ නිවෙස් හිමියා ආදායම් සහකාරවරයාට පා පහරක් එල්ල කර අත දරා සිටි ජල බිල්පත් තොගය උදුරාගෙන වතුර බැරලයකට දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු බව මහරගම පොලිසිය සඳහන් කළා.

ජල බිල්පත් තොගය බැරලයට දැමීමට පෙර එයින් කීපයක් ඉරා විසි කර දමා ඇතැයි ද පොලිසිය පැවසුවා.

සිද්ධියට මුහුණ දී ඇත්තේ ජාතික ජලසම්පාදන මණ්ඩලයේ කැස්බෑව ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයේ එන්.එම්.නුවන් ධනුෂ්ක නමැති ආදායම් සහකාරවරයායි.

2021 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා එම නිවෙස් හිමියා ජල බිල්පත නොගෙවා තිබූ අතර ඒ හේතුවෙන් ඉකුත් මාසයේදී මාසයේ දී ඔහුගේ ජල සැපයුම විසන්ධි කර තිබූ බව ජාතික ජල සම්පාදන මණ්ඩලයේ කැස්බෑව ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයේ ඉංජිනේරු සහකාර දිලිනි අයේශා මහත්මිය පැවසුවා.

එම නිවෙස් හිමියා මේ දක්වා ජාතික ජල සම්පාදන මණ්ඩලයට රුපියල් 14000 ඉක්මවන මුදලක් ගෙවිය යුතු බවද එහි නිලධාරියෙක් සඳහන් කළා.

ජල සැපයුම විසන්ධි කර තිබුණද එම පුද්ගලයා අයථා මාර්ගයකින් මේ දක්වා ජලය ලබාගෙන තිබෙන බවට මෙම සිද්ධියත් සමඟම එම ස්ථානයට පැමිණි ඉංජිනේරු සහකාර වරයා ඇතුළු නිලධාරීන්ට නිරීක්ෂණය වීමෙන් අනතුරුව කාර්මික නිලධාරීන් ලවා එයද විසන්ධි කිරීමට එම අවස්ථාවේදීම පියවර ගත් බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසුවා.

මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජි.පි.රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වෙනවා.