hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 01, පෙ.ව. 4:12



ගිනිකොන දිග සහ ඊට යාබද නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින පීඩන අවපාතය ඊයේ (31) උදෑසන වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 340 ක් පමණ නැගෙනහිර දෙසින් අක්ෂාංශ 8.4°N සහ දේශාංශ 84.3°E ආසන්නයේ කේන්ද්‍රගතව පැවතුනබවත් එය ඊයේ (31) සවස දක්වා ක්‍රමයෙන් බටහිර දෙසටබරව වයඹ දෙසට ගමන් කර පසුව දකුණට බරව නිරිත දෙසට හැරී අද (01) පෙරවරුවේදී ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරය හරහා උතුරු අක්ෂාංශ 7° ත් 8° අතරින් ගමන් කිරීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් උතුර, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මි. 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශ වල ඇතැම් ස්ථානවලට මි.මි. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද එහි දැක්වෙනවා.

උතුර, උතුරු-මැද, නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (50-60) පමණ තද සුළං බලාපොරොත්තුවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශ වල විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං බලාපොරොත්තු විය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.