hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජනවාරි 08, ප.ව. 2:38



“ගෙත්තු පසන්ගා” (geththu  pasanga) නමින් වට්ස්ඇප්  ජාලයක් ඔස්සේ වවුනියාව ප්‍රදේශයේ ක්‍රියාත්මක තියුණු ආයුධවලින් සන්නද්ධ කණ්ඩායමක සාමාජිකයන් හය දෙනකු තියුණු ආයුධ හා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.

එම සැකකරුවන් සමග සමග කඩු දෙකක්, දැති රෝදයක ආකාරයෙන් සකස් කළ තියුණු ආයුධයක් හා මත් පෙති පොලිස් භාරයට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකා වව්නියාව කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව වව්නියාව පුවරසන්කුලම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මත් පෙති සමග අත්අඩංගුවට ගත් පුද්ගලයකු සතුව තිබූ ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී විවිධ ප්‍රමාණයන්හි කඩු  කිහිපයක ඡායාරූප දැක ගැනීමෙන් අනතුරුව සිදු කළ දීර්ඝ විමර්ශනයකදී සෙසු සැකකරුවන් තියුණු ආයුධ සහ ජංගම දුරකථන හතරක් සමඟ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසනවා.

එම සැකකරුවන් පසුගිය කාලයේදී පුවරසන්කුලම, තට්ටම්කුලම් සහ සෙට්ටිකුලම යන ප්‍රදේශයන්හි ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරමින් ක්‍රියාත්මක වන ගෙත්තු පසන්ගා යන කණ්ඩායමේ සාමාජිකයන් බවට තොරතුරු වාර්තා වූ බව පොලීසිය සඳහන් කරනවා.

සැකකරුවන් සියලුම දෙනා 18 හැවිරිදි වියේ පසුවන්නන් බවත් පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පුවරසන්කුලම පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා,

ගෙත්තු පසන්ගා නොමැතිව ජාලය මගින් සිදුකරන ලද ක්‍රියාකාරකම් පිළිබඳ විශේෂ කාර්ය බළකාය මගින් වැඩිදුර විමර්ශන  සිදුකිරීමට නියමිතයි.

පොලිස් විශේෂ කාර්යය බලකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එස් එන් ගුණරත්න මහතා ගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී  ආර්.එම්.අබේසේකර  මහත්වරුන්ගේ මග පෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකා වව්නියාව කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ආර්.ටි.ඒ අමරසිංහ, පොලිස් පරීක්ෂක පී.එන්.අධිකාරි මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වනවා.