hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 30, ප.ව. 9:08



යාල ජාතික වනෝද්‍යානය තුළ ජීප් රථවලින් යකා නැටුවේ මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ සහෝදරයාගේ පුත්‍රය සහ රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා ඇතුළු පිරිසක් බව පරිසරවේදී නයනක රන්වැල්ල මහතා හෙළි කරනවා.

සල්ලි වලට ගන්න දෙයක් නැති කුරුණෑගල බිත්තර ව්‍යාපාරිකයන්ගේ පුත්‍රයන් පිරිසක්ද ඒ සදහා එක්ව සිටි බව ද හෙතෙම පැවසුවා.

මෙය මාධ්‍යවලට නොපවසන්නයි තමන්ද මුදලට බා ගැනීමට ඔවුන් උත්සාහ කළ බවද පැවසූ ඔහු වනජීවිය සහ පොලීසිය බිත්තර ව්‍යාපාරිකයන්ගේ මුදලට යට වූ බවද සදහන් කරනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ඇත්තටම වාහනවල ගිය පිරිස නොව වෙනත් පිරිසක් බවද පවසන ඔහු මෙම වරද වලට අවුරුදු දහයකට වැඩි සිරදඬුවම් නියම කළ හැකි බව ද කියා සිටියි.

මේ අතර යාල වනෝද්‍යානයට ඇතුලු වූ පිරිසක් නීතිවිරෝධී ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ඥාති පුත්‍රයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී ඔහු ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදාහැර ඇති බවයි වාර්තාවන්නේ.

පසුගිය 22 වන සෙනසුරාදා සංවේදී පරිසර කලාපයක් සහිත යාල ජාතික වනෝද්‍යානයට සුඛෝපභෝගී ජීප් රථ සහ කැබ්රථවලින් පැමිණි පිරිසක් මෙලෙස වන සතුන්ට හිරිහැර වන ලෙස නොහික්මුණු ආකාරයෙන් හැසිරීමේ සිද්ධියක් වාර්තාවුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ වීඩියෝවක් ද සංසරණය වූ අතර, ඉන් අනතුරුවයි මේ පිළිබඳව කථාබහක් ඇතිවුණේ.