hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූලි 11, පෙ.ව. 10:41



මීළඟ ජනාධිපතිවරයා පත්වන්නේත්, පාර්ලිමේන්තුවේ වැඩි බලයක් අල්ලා ගන්නෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් බව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කරනවා.

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් මේ රටේ බලය ළඟදීම අත්පත් කරගන්නා බවත් මහින්ද රාජපක්ෂ මහතාට බලය ලබාදීමට ජනතාව සූදානමින් සිටින බවද කාරියවසම් මහතා සඳහන් කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් ආසන බලමණ්ඩල රැස්වීම ඉකුත් 8 වැනිදා මනම්පිටිය මහවැලි ප්‍රතිභා ශාලාවේදී පැවැති අවස්ථාවේදී ඒ මහතා එම කරුණු අනාවරණය කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගර කාරියවසම් මහතා,

“එදා අරගලකාරයෝ විනාශ කෙළේ මේ රටේ ශක්තියයි, සංස්කෘතියයි. මහින්ද රාජපක්ෂ මහතා තමයි යුද්ධය අවසන් කරලා මේ රටේ ජනතාවට නිදහසේ ජීවත්වෙන්න අයිතිය ලබාදුන්නේ. ඒ විතරක් නොවේ ජනතාව ආර්ථික වශයෙන් නඟාසිටුවූ මේ රටේ අයිතිය උරුමය ආරක්ෂා කරපු සංවර්ධනය කරපු දරුවන්ගේ අධ්‍යාපනය නඟාසිටුවන්න ශක්තියක් වූ නායකයාට හොරා කියද්දී, ඊට විරුද්ධව සටන් කළේ මේ රටේ මහින්ද රාජපක්ෂ මහතාට ආදරය කරන පිරිසයි. ඔබ තමයි අපේ ශක්තිය. අද පොළොන්නරුව බලමණ්ඩලයට ඇවිල්ලා ඉන්න සියලු දෙනාටම පක්ෂයේ ප්‍රණාමය පුද කරනවා.

නැවත මේ රට රැක ගන්න, මේ රටේ ශක්තිය රැක රැකගන්න, අපේ අනාගත පරපුර රැකගන්න අපට අවශ්‍ය වෙලා තියෙනවා. මේ වනවිට යටත් විජිතවාදීන්ගේ ඩොලර්වලට යටවුණ පරපුරක් බිහිවෙනවා. ඔවුන් හරහා සමාජ මාධ්‍ය හරහා අපිට මඩගහනවා. සංස්කෘතිය කඩාදාලා සමාජ ශක්තිය නැති කරලා මේ රට බිඳ වට්ටන්න විජිතවාදීන් උත්සාහ දරනවා. අපි මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව නැවත වරක් බලයට එනවා. ඒක බොහොම අභියෝගාත්මකයි. ඒ සඳහා අපිට විශාල කැපකිරීම් කරන්න සිදුවෙනවා. අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට පොරොන්දුවක් වෙනවා ඔබ අපට ශක්තිය ලබාදෙන තාක්කල් මේ රටේ මීළඟ ජනාධිපතිවරයා බවට පත් වන්නේත්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ බලය අල්ලන්නේත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කියන එක සිහිපත් කරනවා.”