hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 මැයි 30, පෙ.ව. 4:03



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ප්‍රථමයෙන් මහජනයාට යම් ආර්ථික සහන ලබා දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු විය යුතු බව අස්ගිරි මහ විහාරකාරක සංඝ සභාව පවසයි.

රටක් ස්ථාවර වීම සඳහා දේශපාලන ස්ථාවරත්වය බලපාන නමුත් මේ අවස්ථාවේ රටේ ජනතාවට යම් හෝ සහන ලබා දීම අත්‍යවශ්‍ය කරුණක් වී ඇතැයි එම පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමියන් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මහා නායක හිමියන් දැනුවත් කිරීම සඳහා මහනුවරට පැමිණි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා ඊයේ (29)  පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ආශිර්වාද ලබා ගෙන තිබෙනවා.

අනතුරුව අස්ගිරි මහා විහාරයට ගිය ඒ මහතා එහිදී අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් ඇතුලු කාරක සංඝස භාවේ මහා සංඝරත්නය හමුවේ යෝජිත නව ව්‍යවස්ථා පිළිබද දැනුවත් කිරීමට කටයුතු කළා.

ජනාධිපතිවරයාගේ සම්පූර්ණ බලතල ඉවත්කොට නාමික ජනපතිවරයෙක් සහිත නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම රටට අහිතකර යැයි පෙන්වා දුන් අස්ගිරි මහ විහාර අනුනායක හිමියෝ 13 ව්‍යවස්ථා වැනි සංකීර්ණ තත්වයන් හමුවේ ජනාධිපතිවරයාට රටේ ආරක්ෂාව ඇතුළු යම් බලතල හිමිකිරීම කාලෝචිත යැයි සඳහන් කළා.

ආර්ථික අසීරුතාවයෙන් පීඩාවට පත්ව සිටින මහජනයාට ආර්ථික හා ඉන්ධන, ගෑස්, විදුලිය වැනි සහන ලබා දීමෙන් පසු ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පියවර ගැනීම වඩා උචිත යැයි අස්ගිරි මහා විහාර පාර්ශවය වෙනුවෙන් අදහස් වැඩිදුරටත් දැක්වූ අනුනායක පූජ්‍ය ආණ්මඩුවේ ධම්මදස්සි හිමියන් සඳහන් කළා.

මහා නායක හිමියන් බැහැදැකීම සඳහා මහනුවරට පැමිණි අධිකරණ අමාත්‍යවරයා එහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ආර්ථික බංකොලොත්භාවයකට ශ්‍රී ලංකාව පත්ව ඇත්තේ රට තුළ පවතින දේශපාලන අස්ථාවරත්වය නිසා යැයි ප්‍රකාශ කළා.

“එය නිවරැදි කර ගැනීම සඳහා විධායක ජනාධිපතිවරයාට තනි මතය අනුව කටයුතු කිරීමට ඇති හැකියාව වෙනුවට පාර්ලිමේන්තුව ඇතුලු රාජ්‍ය ආයතනවලට බලය හිමිවන ජනතා විශ්වාසය රැක ගත හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කරා අප යොමු විය යුතුයි. ඒ සඳහා 19 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය මගින් ලබාදී තිබුණු ස්වාධීන ආයතන පවත්වාගෙන යමින් රාජ්‍ය අංශයේ දූෂණය වංචාව තුරන් කළ හැකි තත්ත්වයක් නිර්මාණය කිරීම වඩාත් සුදුසුයි. ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයෙකු මෙරට මුදල් අමාත්යධූරයට පත්ව රටේ ආර්ථීකය මුළුමනින්මවිනාශ කිරීමට යොමුවුණේ මෙම ව්‍යවස්ථාවේ පැවැති අඩු පාඩු සහිත  තත්ත්වය නිසයි. ජාතික ලැයිස්තුවෙන් හෝ මන්ත්‍රීවරු ලෙස පැමිණියක් මෙරට ව්‍යවස්ථා අනුව මහජන නියෝජිතයන් 225 දෙනාම සමාන බව ව්‍යවස්ථා අනුව පිළිගැනෙනවා. ආණ්ඩුව අසාර්ථක වන විට ආණ්ඩුව භාර ගත යුත්තේ විපක්ෂ නායකවරයා ප්රධාන විපක්ෂයයි. මාසයක් තිස්සේ සාකච්ඡා කළත් විපක්ෂයෙන් ඉල්ලා සිටියත් ඔවුන් ආණ්ඩුව භාර ගත්තේ නෑ. ආණ්ඩුව භාර ගන්නා ලෙස ජනාධිපතිවරයා පවා කීප වරක්  විපක්ෂයට දැනුම් දුන්නා. ආණ්ඩුව පවත්වා ගැනීම සඳහා කොන්දේසි විරහිතව විපක්ෂයට සහය ලබා දෙන බව 41 ස්වාධීන කණ්ඩායම වශයෙන් අප ප්රකාශ කළත් විපක්ෂය ආණ්ඩුව භාර ගත්තේ නැහැ. “ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා මෙසේ අදහස් දක්වා සිටියා.

මෙම අවස්ථාවට අස්ගිරි විහාර පාර්ශවයේ මහනායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ මෙන්ම මහා විහාර කාරක සංඝ සභාවේ නා හිමිවරු රැසක් ද සහභාගී වී සිටියා.