hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 අප්‍රේල් 10, ප.ව. 5:20



යුතුකම සංවිධානයේ සභාපති ගෙවිදු කුමාරතුංග මහතාද රටේ ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් පැවති පාර්ලිමේන්තු විවාදයට සහභාගි වුණා.

එහිදී ඔහු සභාව අමතා සඳහන් කළේ මේ විවාදය පවත්වන්නේ රටේ තීරණාත්මක මොහොතක බවයි.

තීරණාත්මක මොහොත

ඊට හේතුද ඔහු පෙන්වා දුන්නා.

මේ මොහොත 69 ලක්ෂයක ජනතාව හදවතේ ආදරයත් සමග පත්කරගත් ජනපතිවරයා ගෙදර යන්න කියන මොහොතක් , ඔබ මා ඇතුළු 225 ම එපා යැයි කියන මොහොතක් බවයි කුමාරතුංග මහතා සඳහන් කරන්නේ.

ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ මේ මොහොත මේ පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරන මොහොතක් මෙන්ම සියලු දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරන මොහොතක් බවයි.

පුදුමයට හේතුවක්ද

ගෑස් භාවිතයෙන් ඇති පහසු බව පිරිසිදු බව කියා දෙමින් දර ලිපේ ඉහුම් පිහුම් කළ සැමට ගෑස් භාවිතය පුරුදු පුහුණු කරවා මුළුතැන්ගේ ඒ අනුව හැඩ ගස්වා ඇති ජනතාවට ගෑස් සැපයුම අසමත් වන විට ජනතාව පාරට ඒම පුදුමයක් දැයි කුමාරතුංග මහතා ප්‍රශ්න කරනවා.

විදුලිය ආස්වාස ප්‍රාස්වාස කරන වාතය තරමටම අත්‍යවශ්‍ය කරගත් ජනතාවකට 100% විදුලිය සපයා ඇති බවට උදම් අනන සමාජයකට දවසින් අඩකට වඩා විදුලිය සැපයුම ලබා දිය නොහැකි තැනට පත් වී ඇති මොහොතක ඒ ජනතාව පාරට බැසීම අරුමයක්දැයි යන්නත් ඔහු ප්‍රශ්න කරනවා.

එපමනක් නොව පොදු ප්‍රවාහනය දියුණු කරනු වෙනුවට සෑම රාජ්‍ය සේවකයෙකුගේම , සෑම පුරවැසියෙකුගේම පැතුම වාහනයක් හිමිකර ගැනීම බවට පත් කළ සමාජයක ඩීසල් පෙට්රල් නැතිවිට ජනතාවත් පාරට බැසීම පුදුමයක් දැයි යන්නත් කුමාරතුංග මහතා ප්‍රශ්න කරනවා.

චෝදනා කිරීම

මුහුණ දීමට සිදුවන විපත දැක එය පාලනය කිරීමට තැත් කළ හිටපු බලශක්ති උදය ගම්මන්පිල මහතාට උසුළු විසුළු කරමින් , බොරු බියක් , ව්‍යාජ සමාජ අසහනයක් ඇති කරන්නට උත්සාහ කරන්නෙකු ලෙස නම් කරමින් රජය තමන් රැවටූ බව අවබෝධ කරගත් ජනතාව පාරට පැමිණීමේ පුදුමය කුමක්ද කුමක්දැයි යන්නත් ඔහු විමසනවා.

මෙසේ අද පාරට බැස සිටින ජනතාවගේ සටන් පාඨ ඊට වඩා ගැඹුරින් කියවිය යුතු බව යුතුකම සංවිධානයේ අදහස බවයි කුමාරතුංග මහතා සඳහන් කරන්නේ.