hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 ජනවාරි 17, පෙ.ව. 10:34



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාට අයත් ඉඩමක කුලියට ගෙන ගංජා වගා කළ අයෙක් අත්අඩංගුවට ගත් පුවත සම්බන්ධයෙන් අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කතානායකවරයා අද(17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කළා.

ජාතික පුවත්පත් දෙකක පළ කර තිබූ එම ප්‍රවෘත්තිය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් එම ප්‍රවෘත්තියේ සඳහන් ඉඩම මාගේ නොවන බව තරයේ ප්‍රකාශ කරන බවත් අජිත් රාජපක්ෂ මහතා සඳහන් කළා.

තමා පදිංචි අම්බලන්තොට ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ හැර හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙනත් කිසිදු ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයක මා හට ඉඩමක් නොමැති බව ප්‍රකාශ කරන බවයි ඔහු අවධාරණය කළේ.

අදාල පුවත්පත්වල පළ කර තිබූ මෙම වැරදි ප්‍රවෘත්තිය නිවැරදි කර පළ කර ලෙස ප්‍රධාන කතෘවරුන්ට දැනුම් දෙන දෙන ඉල්ලා සිටින බවත් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු වැරදි තොරතුරක් පුවත්පත්වලට ලබාදුන්නේ කුමන අරමුණින්ද යන්න පරීක්ෂණයක් සිදු කරන ලෙසත් පොලිස්පතිවරයාට දැනුම් දෙන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් නියෝජ්‍ය කතානායකවරයා පැවසුවා.

කෙසේ වෙතත් පසුගිය ජනවාරි 11 වැනිදා වාර්තා වූයේ  නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාට අයත් ඉඩමක කුලියට ගෙන ගංජා වගා කළ අයෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

විශේෂ කාර්ය බලකාය කතරගම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මත්තල පොලිස් වසමේ මත්තල ගුවන්පාලම අසන්න ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර තිබෙන බවද වාර්තා වුණා.

එහි දී නියෝජ්‍ය කතානායකවරයාට අයත් අක්කර 10 ක භූමියක් කුලියට ලබාගෙන නීති විරෝධී ලෙස අක්කර 2 ½ ක පමණ භූමි ප්‍රමාණයක වගා කර තිබූ අඩි 4 ½ ක් පමණ උස ගංජා ගස් 18,956 ක් වගාකර තිබූ ගංජා හේනක් සමඟ සුරියවැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කතරගම පොලිස් ස්ථානය වෙත භාර දුන් බව වාර්තා පලවුණා.