hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූනි 27, පෙ.ව. 2:24



පවතින අර්බුදවලට විසඳුම් සෙවීම සඳහා ආණ්ඩුව භාර ගැනීමට ජාතික ජන බලවේගය සුදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ කොන්දේසියක්ද ඉදිරිපත් කරමින්.

දිසානායක මහතා කියා සිටියේ තමන් කැමති කැබිනට් මණ්ඩලයක් පත් කරගැනීමට අවස්ථාව ලබාදෙන්නේ නම් පමණක් ආණ්ඩුව බාර ගන්නා බවයි.

ඔහු මේ බව පැවසුවේ අනුරාධපුරයේ ඊයේ (26) පැවති විරෝධතා රැලියකට එක්වෙමින්.

“රටක් කඩාවැටුණාම ඒ රට ගොඩනගන්නේ කවුද? ඒ රටේ මිනිස්සු. ඒකට ජාත්‍යන්තර සහාය අතිරේකව ලබාගන්න ඕනේ. දැන් තෙල් ඇමති හිටියට ෂෙඩ්වල තෙල් නැහැ. කෘෂිකර්ම ඇමති හිටියට කුඹුරට පොහොර නැහැ. පාසල් වහනවා කියන්න අධ්‍යාපන ඇමති ඉන්නවා. මොකටද මේ ඇමතිවරු?” යැයි දිසානායක කියා සිටියා.

මෙවැනි ආණ්ඩුවකින් මේ රට ගොඩගැනීමට නොහැකි බවත් එනිසා එම වගකීම ගෙන රට ගොඩගැනීමට තම කණ්ඩායම සූදානම් බවත් ඒ මහතා සඳහන් කළා.

“හෙට ගෝඨාභය, රනිල් ඔයගොල්ලෝ මේක භාරදෙනවා නම් අපි ලෑස්තියි. මේ රටට හදන්නත් ලෑස්තියි. අපිට වෙනමොකුත් ඕනේ නැහැ. අපිට දෙන්න ආණ්ඩුව. මේ පාර්ලිමේන්තුව ඇතුළේ අපි කැමති කැබිනට් මණ්ඩලයක් හදන්න දෙන්න. අපිට ආණ්ඩුවක් හදාගන්න දෙනවානම් මේ ප්‍රශ්නයේ විසඳුම් ක්‍රියාමාර්ගයක්, අපේ ආර්ථිකය කඩා වැටෙමින් තිබෙන විනාශය වළක්වන ක්‍රියාමාර්ගයට මේ රට අවතීර්ණ කරන්න අපට පුළුවන්. ඒ සඳහා අපි මේක භාරගැනීමට ලෑස්ති.” යැයිද ඔහු වැඩිදුරටත් පැවසුවා.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වූ පසු ආණ්ඩුව බාර ගැනීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විපක්ෂයේ සියලු දෙනාගෙන් ඉල්ලා සිටි අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර යන මහත්වරුන් විවිධ කොන්දේසි යෝජනා ඉදිරිපත් කරමින් ආණ්ඩුව බාර ගැනීම ප්‍රතික්ෂේප කළා.

පසුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ එක් ආසනයක් හිමි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිධූරය ලබාදී නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට කටයුතු කළා. අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමන් අගමැති ධූරය ලබා ගැනීමට සූදානම් බව ප්‍රකාශ කළද ඒ වන විටත් අගමැති ධූරය ලබා දී ඇති බව ජනාධිපතිවරයා දන්වා සිටියා.

නමුත් විපක්ෂයේ කිසිවෙකු අගමැතිධූරය ලබාගෙන අර්බුදය මැද ආණ්ඩුව කර වීමට කැමැත්තක් නොදැක්වූ අතර මේවනවිට ජනතා විමුක්ති පෙරමුණද අගමැති ධූරය ලබා ගැනීමට කැමැත්ත පළ කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: