hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූනි 22, ප.ව. 3:32



කෙටි කාලයකට බංකරේක සැඟවී සිටි හිටපු අගමැතිවරයා දැන් එළියට ඇවිත් සුපුරුදු සෙල්ලම පටන්ගෙන තිබෙන බවත් ජනතාවගේ පැනනගිමින් තිබුණු කෝපය සහ විරෝධයෙන් රාජපක්ෂ පවුලත් ආණ්ඩුවත් බේරා ගන්න ‘බොඩි ආමර්’ එකක් සේ රනිල් වික්‍රමසිංහ ක්‍රියා කර ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසනවා.

ඒ හැර රටේ ජනතාව මුහුණ දෙමින් තිබුණු ප්‍රශ්නවලට පිළිතුරු ඔහුට නොතිබුණු බව දැන් පැහැදිලි වී ඇති බවත් ඒ නිසා රනිල් වික්‍රමසිංහ යනු රාජපක්ෂ පාලනයේ ‘බොඩි ආමර්’ එක වී සිටින බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

ඔහු මේ බව පැවසූවේ අද(22) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

පසුගිය කාලයේ ජනතාවගෙන් පැනනැගුණු විරෝධය අලුත් වටයකින් උත්සන්න කර, මේ විනාශකාරී පාලකයන් පලවා හැරීමට සිදුවී තිබෙන බව පෙන්වා දෙන දිසානායක මහතා ඒ සඳහා දේශපාලන ව්‍යාපාරයක්ට ලෙස අපේ මැදිහත්වීම, අපේ දායකත්වය සහ නායකත්වය ලබා දීමට සූදානම් බවත් කියා සිටියා.

මේ සඳහා දිස්ත්‍රික්ක කේන්ද්‍රගත කරගනිමින් ජන පෙළගැස්ම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කර තිබෙනවා.

“ආණ්ඩුව පළවා හරින තුරු ජනතාව පාරට බහින්න ඕනෑ. මේ වන විටත් දිස්ත්‍රික්ක ගණනාවක, නගර ගණනාවක උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කර තිබෙනවා. අපිට අනුබද්ධ වෘත්තීය සමිති ව්‍යාපාරය 23 වැනිදා සිට ඊට අදාළ ක්‍රියාමාර්ග උත්සන්න කරනවා. “ යැයි අනුර කුමාර මන්ත්‍රීවරයා සඳහන් කළා.

ඒ අනුව එළඹෙන 26 වැනිදා අනුරාධපුර නගරයේද 27 වැනිදා කුරුණෑගලද, 28 මාතරද, 29 කළුතරද, 01 වැනිදා අම්බලන්තොටද වශයෙන් ප්‍රධාන නගර ගණනාවක් කේන්ද්‍රගත කරගෙන මෙම උද්ඝෝෂණ විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

“අපි මේ පියවර තබන්නේ ආපසු හැරෙන්න නොවෙයි. රනිල් වික්‍රමසිංහ, ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව මේ දක්වා අනුගමනය කළ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිමාවට පත්කර අපේ දුවා දරුවන් සඳහා නව රටක් බිහිකිරීමේ පාලනයක් වෙනුවෙන් උද්ඝෝෂණ ව්‍යාපාර ගෙනයන්න සැලසුම් කර තිබෙනවා.” යනුවෙන්ද ඒ මහතා සඳහන් කළා.

“දූෂිත වළල්ලක් විසින් අපේ රටට ඇති කර තිබෙන දරුණු අනිටු ප්‍රතිවිපාකවලට අපේ රටේ පුරවැසියන් ගොදුරු විය යුතු නැහැ. පෝලිම්වල සිට පුරවැසියන් මිය යන්නේ ඔවුන් කළ වරදක් නිසා නොවෙයි. පෝලිම්වල ඉන්න කිසිකෙනෙක් මේ වැරැද්දට දායක වී නැහැ. ඒ නිසා පෝලිම්වල ඉඳලා මිය යන තත්වයට එරෙහිව ජන පෙළගැස්ම තුළින් ඔබ ඔබගේ ආසන්නම නගරයෙන් පාරට බහින්න. ” යැයි අනුර කුමාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: