hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 මැයි 18, ප.ව. 4:50



පසුගිය 09 වැනිදා ඇති වූ සිද්ධියේදී මැති ඇමතිවරුන්ගේ මන්දිර වලට පහරදී ගිනි තැබීම පිටුපස ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් සිටින බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඊයේ(17) සහ අද(18) දිනයේත් පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.

අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසූවේ පසුගිය 9 වැනි දා මැති ඇමති මන්දිරවලට සිදු වූ හානිය පිටුපස ජනතා විමුක්ති පෙරමුණේ යම් මැදිහත් වීමක් ඇති බව යි.

ඒ සමඟ ම ඔහු 88/89 සමයේ සිදු වූ සිදුවීම් ද යළි මතක් කර දෙමින් සිය කතාව සිදු කළා.

ඊට පිළිතුරු ලබාදෙමින් ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ ජවිපෙට සම්බන්ධ එක් පුද්ගලයෙකුගේ නමක් හෝ ඇත්නම් දැනුම් දෙන ලෙසයි.

අනුරට බාධා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ඔහුගේ කතාවට දිගින් දිගටම බාධා එල්ල කිරීම නිසා පාර්ලිමේන්තුවේ දැඩි නොසන්සුන් තත්වයක් ඇතිවුුණා.

ජනතා විමුක්ති පෙරමුණ මෙවැනි ආකාරයේ තර්ජනවලට බියවන පක්ෂයක් නොවන බව ප්‍රකාශ කළා.

පසුගිය දිනවල ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා වලට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් සම්බන්ධ නම් ඒ සම්බන්ධයෙන් පවත්වන ඕනෑම පරීක්ෂණයකට මුහුණදීමට සූදානම් බවද අනුර දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියා.

ජවිපෙ සාමාජිකත්වය දුන්නේ පොලිස්පතිද?

මෙහිදී අදහස් දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසුවේ පසුගිය දිනවල ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හාරසිය පනස් දෙනා ගෙන් එකසිය පනස් දෙනකුම ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් බව පොලිස්පතිවරයා දන්වා ඇති බවයි.

මෙහිදී ඊට ප්‍රතිචාර දැක්වූ අනුර දිසානායක මහතා එසේනම් ඒ අයට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකත්වය ලබාදී ඇත්තේ පොලිස්පතිවරයා විය හැකි යැයි ප්‍රකාශ කළා.

එසේ ම 9 වැනි දා සිදුවීම ජනතා විමුක්ති පෙරමුණු ගිණුමට බැර කිරීමට බොහෝ පිරිසක් උත්සාහ දරන බවත් ඔහු අවධාරණය කරමින් කියා සිටියා.

සාමකාමී උද්ඝෝෂණවලට පහර දෙන ලයිසන් චණ්ඩින්ගේ ක්‍රියාවලට නිසැකයෙන් ම තමා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වන බවත් මන්ත්‍රීකම යනු පහර දීමට ඇති ලයිසන් පත්‍රයක් නො වන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

මත්පැන් පානය කර කඩු පොලු මුගුරු රැගෙන පැමිණ ඉතා සාමකාමී අරගලයක නියුතු තරුණයන්ට පහර දීම අතිශය පිළිකුල් සහිත එකක් බවත් ඔහු අවධාරණය කළා.

එම වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: