hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 24, පෙ.ව. 8:43



ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට තුන් කොන් සටනක් නිර්මාණය වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

එම පක්ෂයේ පාලක ලේකම් රේණුක පෙරේරා, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ ගමගේ සහ එස් අමරසිංහ යන මහත්වරුන් එම මන්ත්‍රීධූරය ලබාගැනීමේ උත්සාහයක සිටින බව දැනගන්නට තිබෙනවා.

ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට විවිධ පුද්ගලයන් හරහා ඒ පිළිබඳව ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවද වාර්තා වනවා.

මේ අතර පොහොට්ටුවේ බොහෝ දෙනාගේ මතය වී ඇත්තේ බැසිල් රාජපක්ෂගෙන් හිස්වූ මෙම මන්ත්‍රී ධුරයට බැසිල් රාජපක්ෂ මහතාම යළි පත්විය යුතු බවයි.

එමෙන්ම බොහොමයක් මන්ත්‍රීවරු පෙන්වා දී ඇත්තේ යම් හෙයකින් මේ අවස්ථාවේදී බැසිල් පාර්ලිමේන්තුවේ රැඳී සිටියේ නම් ඔහුට අගමැති ධුරය පවා ලබාගත හැකිව තිබූ බවයි. එසේත් නොමැති නම් පොහොට්ටුවේ බහුතරය තවමත් පාර්ලිමේන්තුවේ පවතින නිසා ජනාධිපති ඡන්ද විමසීමේදී බැසිල්ට ජනාධිපති ධුරය පවා ලබාගත හැකිව තිබූ බව ඔවුන්ගේ අදහස වී තිබෙනවා.

ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා ධම්මික පෙරේරාගෙන් හිස්වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට යළි පත්වනු ඇතිදැයි ලබන සතියේදී තීරණය කරනු ඇතැයි වාර්තා වනවා.

නමුත් ධම්මික පෙරේරා මහතා අමාත්‍ය ධුරය භාරගෙන සතියක් යෑමට මත්තෙන් එවක අගමැතිවරයා සහ මුදල් ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතාට මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා. එපමණක් නොව තමන් සමග විවාදයකට එන ලෙසට ධම්මික පෙරේරා රනිල් වික්‍රමසිංහ එවකට අගමැතිවරයාට අභියෝගයක්ද කළා.

පසුව රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධුරය භාරගත් පසු ධම්මික පෙරේරා මහතාට ලබාදී තිබූ ආයෝජන මණ්ඩලය ඇතුළු ආයතන ගණනාවක්ම විශේෂ ගැසට් පත්‍රයකින් නැවතත් තමා යටතට ගැනීමට පියවර ගෙන තිබුණා.

ඒ අනුව ධම්මික පෙරේරා මහතා බැසිල් රාජපක්ෂ මහතාට තමා මන්ත්‍රී ධූරයෙන් ඉවත් වන බවට දැනුම්දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාද මුණගැසී ඔහුටද සිය තීන්දුව දැනුම්දී තිබෙනවා.

නමුත් එහිදී ජනාධිපතිවරයා ධම්මික පෙරේරා මහතා ප්‍රකාශ කර ඇත්තේ ඉල්ලා අස්වීමට අවශ්‍ය නැති බවත්, තවදුරටත් අමාත්‍ය ධුරයේ කටයුතු කරගෙන යන ලෙසත්ය.

කෙසේ වෙතත් මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් තමන් තීන්දුවක් ගෙන ඇති බව ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇති ධම්මික පෙරේරා මහතා රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා කළ හැකි සෑම දෙයක්ම සිදුකරන බවට ජනාධිපතිවරයාට පොරොන්දුවක් ලබා දී තිබෙනවා.