hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූනි 10, පෙ.ව. 2:20



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ඊයේ(09) පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදුන්නා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ පක්ෂ කාර්යාලයේදී ඊයේ (09) මාධ්‍ය හමුවක්ද පැවැත්වුවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සුදුසු පුද්ගලයෙකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන්වා ගැනීම සඳහා අවස්ථාව සැලසීම සිය ඉල්ලා අස්වීමේ අරමුණ බවයි ඔහු එහිදී පැවසුවේ.

ඒ අනුව, අද සිට තමා සම්පූර්ණයෙන්ම රාජ්‍ය පාලන කටයුතුවලින් ඉවත් වන බව බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, දේශපාලනය කිරීම නතර නොකරන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

මේ අතර බැසිල් රාජපක්ෂ මහතාගේ ඉවත්වීමෙන් පුරප්පාඩු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට එම පෙරමුණේ සාමාජිකත්වය දරණ පුද්ගලයෙකු පත් කිරීම සම්බන්ධයෙන් ද මේවනවිට පක්ෂය තුළ සාකච්ඡා කර තිබෙනවා.

ඒ අනුව පුරප්පාඩු වන එම ධූරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා පත් වනු ඇති බවටත් වාර්තා පළ වනවා.

බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉවත්වීමෙන් පුරප්පාඩු වන ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා මෙරට ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත් කරනු ඇති බවද දේශපාලන ආරංචි මාර්ග පැවසුවා.

ඒ අනුව ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වුවහොත්, ඔහුට වත්මන් රජයේ ප්‍රභල අමාත්‍යධූරයකට පත්කරනු ඇති.

බොහෝ විට ඔහුට ජාත්‍යන්තර අයෝජන හා වෙළඳාම සම්බන්ධයෙන් කටයුතු පැවරෙනු ඇති බවටයි එම ආරංචි මාර්ග සඳහන් කළා.

ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට රජයේ තනතුරක් භාරගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මීට පෙර අවස්ථා ගණනාවකදී ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණා.

මේ අතර යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණ සිය මන්ත්‍රීධූරවලින් ඉවත්වීමේ සූදානමක් පවතින බවටද එම ආරංචි මාර්ග පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: