hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූලි 25, පෙ.ව. 1:31



සෑම පක්ෂයකටම එක් අමාත්‍යධූරය බැගින් පිරිනමා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් වත්මන් රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ඉදිරි සති 02 තුළ මෙම සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීම සඳහා සැලසුම් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

එම සර්ව පාක්ෂික ආණ්ඩුව බිහි කිරීම සඳහා සාකච්ඡා දේශපාලන පක්ෂ සමඟ සඳුදා සිට ආරම්භ කරන බවත් අරගලකරුවන් සමඟද සාකච්ඡා කිරීමට ආණ්ඩුව සූදානම් බවත් වාර්තා වනවා.

ඇමති මණ්ඩලය 30කට ද, රාජ්‍ය අමාත්‍යවරුන් තිහකටද සීමා කරමින් ස්ථීර කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

සර්ව පාක්ෂික ආණ්ඩුවේදී පසුගියදා පත් කළ භාරකාර ආණ්ඩුවේ ඇමතිවරු වෙනස් නොවන අතර තවත් ඇමැතිවරු 12 දෙනෙකු පත් වීමට නියමිත බවයි රජයේ ආරංචි මාර්ග පැවසූවේ.

එහිදී සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරු තුනත් හයත් අතර පිරිසකට ඇමති ධූර හිමිවීමට නියමිත අතර පක්ෂ නායකයින්ටද ඇමති ධූර හිමිවීමට නියමිතයි.

ඒ අතර රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරන්, ජීවන් තොන්ඩමන් වැනි පක්ෂ නායකයන් සිටින බව වාර්තා වනවා.

රාජ්‍ය ඇමතිවරුන්ගේ ලේඛනයද මේවන විට සකස් කරමින් පවතින බව වාර්තා වන අතර ඊටද සියලු පක්ෂ වල මන්ත්‍රීවරු පත්කිරීමට නියමිතයි.

නවක මන්ත්‍රීවරු කිහිපදෙනෙකුටම රාජ්‍ය ඇමතිධූර හිමි වන අතර ස්ථීර ඇමති මණ්ඩලය පත් කිරීමේදී ඇතැම් ඇමතිවරුන්ගේ විෂය පථය වෙනස් වීමටද නියමිතයි.

මුදල් අමාත්‍ය ධූරය ජනාධිපතිවරයා යටතේ තබා ගැනීමට නියමිතයි.

මේ අතර පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා නම්කළ එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධනට අමාත්‍යධුරයක් පිරිනැමීමට නියමිත බව වාර්තා වනවා.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති තනතුරට පත්වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ මන්ත්‍රීධුරය සඳහා වජිර අබේවර්ධන නම්කරනු ලැබුවා.

ඒ අනුව ලබන 27 වන දින වජිර අබේවර්ධන මහතා සිය මන්ත්‍රීධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට නියමිතයි.

හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා ද රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරයෙකු ලෙස පත්කර තිබෙනවා.