hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 මැයි 19, ප.ව. 4:32



පසුගිය 09 වැනිදා ඇතිවූ සිද්ධිය සහ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳව හිටපු අමාත්‍ය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා අද(19) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.

එහිදී මන්ත්‍රීවරයා සදහන් කළේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූර කාල දෙක අවසන්වීමෙන් පසු සමු ගත්තේ නම් මීට වඩා හොඳ බවත් එසේ කටයුතු කළේ නම් මෙවැනි දුකක් විඳීමට සිදු නොවන බවත්ය.

දේශපාලනය කරන්නේ නම් අතහැරීමද පුරුදු විය යුතු බවත් පෙන්වා දුන් මන්ත්‍රීවරයා තනතුරුවලට ලෝභී වුණොත් මෙවැනි දේවල් විඳීමට සිදුවන බවද ප්‍රකාශ කළා.

සුදුසු වේලාවේදී  තනතුරුවලින් ඉවත් වීම වැදගත් බවද ඔහු කියා සිටියා.

රාජපක්ෂවරුන් වසර අනූවක පමණ කාලයක් රට වෙනුවෙන් සේවය කර ඇති බවත් රාජපක්ෂවරුන් අදටත් ජනතාව  ඉහළින් පිළි ගන්නේ අවංකව දේශපාලනය කළ නිසා බවත් චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

නිල් වාසනාවන්තයි

රනිල් වික්‍රමසිංහ මහතා පුදුම වාසනාවන්ත පුද්ගලයකු බවත් 2015 වර්ෂයේදී  අඩු මන්ත්‍රී සංඛ්‍යාවක් තබාගෙන අගමැති ධූරයට පත්වූ ඔහු අද එක මන්ත්‍රීධූරයකින් අගමැති බවට පත්වී ඇතැයිද ඔහු සඳහන් කළා.

සියලුම ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වුණේ අරගලකරුවන්ට පහරදීමෙන් පසුව බව පැවසූ මන්ත්‍රීවරයා  එය වැරදි උපදෙස් නිසා සිදුවූවක් බවද  ප්‍රකාශ කළේය.

ඒ අවස්ථාවේදී කිසියම් උසි ගැන්වීමක්  සිදුවූ බවද හෙතෙම පැවසුවේය.

පී.බීට දොස්

ඉවසීමක් නැතිකම නිසා මේ දේවල් සිදුවූ බවත් සියලු සිද්ධීන්වලට මෙතන සියලු දෙනා වගකිවයුතු බවත් රාජපක්ෂ මහතා අවධාරණය කළා.

අරගලකරුවන්ට පහර දීමට ගිය පුද්ගලයන් නතර කිරීමට පොලීසිය කටයුතු නොකළේ මන්දැයි ප්‍රහේලිකාවක් බව පැවසු මන්ත්‍රීවරයා එසේ නියෝග නොදුන්නේ ඇයි දැයි සොයා බැලිය යුතු බවද පැවසුවා.

ආර්ථිකය බිඳ වැටීමට නිලධාරීන්ද වගකිව යුතු බවත් ඍණ ආර්ථිකය සහ ණය ආර්ථිකය සකස්වූයේ වන පී.බී ජයසුන්දර මහතා ආර්ථික උපදේශක වරයෙකු වශයෙන් කටයුතු කළ කාලයේදී බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.