hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අගෝස්‍තු 10, පෙ.ව. 9:34



මතභේදයට තුඩු දී ඇති චීන නෞකාව සම්බන්ධයෙන් අමෙරිකාව හා ඉන්දියාව මැදිහත්වීම පිටුපස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඇතුළු කණ්ඩායමක් ද සිටින බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ සභාපති ඩිව් ගුණසේකර මහතා හෙළි කළා.

චීනය හා ශ්‍රී ලංකාව අතර ප්‍රශ්නයක් තිබේ නම් එය එම රටවල් දෙක විසඳාගත යුතු බව ද ඊට තවත් පාර්ශ්වයක් මැදිහත්වීමේ කිසිදු අවශ්‍යතාවක් නැති බව ද ශ්‍රී ලංකාව රටක් ලෙස කටයුතු කළ යුත්තේ නොබැඳි පිළිවෙතකට අනුව බව ද ඩිව් ගුණසේකර මහතා සඳහන් කළා.

එම චීන නෞකාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මැදිහත්වී චීනයේ හොඳ හිත පළුදු නොවන ආකාරයේ ක්‍රියාමාර්ගයකට එළඹිය යුතු බව ද ඩිව් ගුණසේකර පැවසුවා.

මෙම ප්‍රශ්නය තවදුරටත් දික්ගැස්සීම වෙනුවෙන් අමෙරිකාව හා ඉන්දියාවට කේලම් කියන පිරිසක් ද මෙරට තුළ සිටින බවද ඒ මහතා සඳහන් කළා.

ඔවුන්ගේ ක්‍රියා කලාප දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බවත් මෙවැනි රාජ්‍යතාන්ත්‍රික ගැටලුවලදී එසමයෙහි ලක්‍ෂ්මන් කදිරගාමර් මහතා කටයුතු කළ ආකාරයෙන්, වත්මන් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා කටයුතු කළ යුතු බව ත් ඩිව් ගුණසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.