hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 24, පෙ.ව. 7:48



ජනාධිපතිවරයා තෝරාගැනීමේ දී ඩලස් අලහප්පෙරුම මහතාට සහාය දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කණ්ඩායම ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කරනු ඇතැයි වාර්තා වනවා.

එම කණ්ඩායමට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 16 දෙනෙකු පමණ ඇතුළත් වන බව ද වාර්තා වනවා.

ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායමට මහාචාර්ය ජී එල් පීරිස්, මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය චන්න ජයසුමන, ආචාර්ය නාලක ගොඩහේවා යන මහත්වරුන්ට අමතරව පොදුජන පෙරමුණේ හෘද සාක්ෂියට එකඟ මන්ත්‍රී කණ්ඩායමද ඇතළත් වනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කළා.

මෙම කණ්ඩායම ඉදිරියේ දී නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ද අවධානයෙන් සිටින බව දැනගන්නට තිබෙනවා.

මේ අතර රජයේ වැඩපිළිවෙළට එරෙහිව ඒකාබද්ධ සන්ධානයක් පිහිටුවීමේ මූලික සාකච්ඡාවක් ඊයේ විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

බහුජන සමිති, වෘත්තිය සමිති, සිවිල් සංවිධාන යනාදී සියල්ල එකතු කර ගනිමින් රට ගොඩනගන ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව නිශ්චිත අවබෝධයකට පැමිණිය යුතු බවයි විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත්තේ.

ඒ උදෙසා ජාතික සභාවක්ද ගොඩනැඟිය යුතු යැයිද එය ලබන අඟහරුවාදා විපක්ෂ නායක කාර්යාලයේදී හිටුවන බව ද ඔහු කියා සිටියා.

ඒ වෙනුවෙන් විපක්ෂ නායක කාර්යාලයේ ඉඩකඩ විවර කරන බව පැවසූ විපක්ෂ නායකවරයා ජාතික සභාවට එන ප්‍රගතිශීලී යෝජනා යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද සඳහන් කළා.

වෘත්තීය සමිති නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් මෙන්ම සමගි ජන බලවේගයේ නියෝජිතයින් පිරිසක් ඊට එක්වුණා.

එම වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිස සාකච්ඡාවක් සඳහා ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයට පැමිණ තිබෙනවා.

එම සාකච්ඡාව පැවැත්වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.