hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 21, ප.ව. 2:01



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු කණ්ඩායමේ ඉදිරි දේශපාලන ගමන පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අදහස් දක්වා තිබෙනවා.

ඒ අනුව මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ තම කණ්ඩායමේ පළමු පියවර වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ සිය අනන්‍යතාව තහවුරු කරගැනීම බවත් පක්ෂය තුළ එවැනි තත්ත්වයක් ඇතිවූ ප්‍රථම අවස්ථාව මෙය බවත්ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ විවිධ මත නියෝජනය කරන කණ්ඩායම් කිහිපයක් මේවන විට බිහිවී තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා සිය කණ්ඩායමේ මතය පක්ෂය තුළ මීට පෙර ඉදිරිපත් කිරීමට උත්සාහ කළත්, අවස්ථාව නොලැබුණ බව එම කණ්ඩායම්ද ප්‍රකාශ කර තිබෙන බවත් ඒ නිසා කණ්ඩායම් කිහිපයක් පක්ෂය තුළ බිහිවූ බවත් කියා සිටියා.

“පොහොට්ටුවේ දර්ශනය අපියි කියා රටට නියෝජනය කිරීම අපේ කණ්ඩායමේ මූලික පරමාර්ථයයි. ඒ දර්ශනය සෞභාග්‍යයේ දැක්ම තුළින් රටට ඉදිරිපත් කර තිබෙනවා. එම දර්ශනය, ප්‍රතිපත්ති විකෘති කරන කණ්ඩායමක් පක්ෂය නියෝජනය කරන බවට ජනතාව තේරුම් ගෙන තිබෙනවා.” යැයි ජී.එල්.පීරිස් මහතා සඳහන් කළා.

සතිපතා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් කණ්ඩායමේ ස්ථාවරය රටට ප්‍රකාශ කරන බවත් අනන්‍යතාව තහවුරු කරගැනීමෙන් පසු සිය කණ්ඩායම හුදෙකලාව කටයුතු නොකරන බවත් ඔහු ප්‍රකාශ කළා.

පක්ෂයෙන් ඉවත් වූ අනෙක් කණ්ඩායම් සමගද දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබෙන බවත් ඒ අය සමග පොදු වැඩපිළිවෙළකට අවතීර්ණ වීමට නියමිත බවත් ජී.එල්. පීරිස් මහතා සති අන්ත ජාතික පුවත්පතකට අදහස් පළ කරමින් ප්‍රකාශ කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: