hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 23, පෙ.ව. 3:41



ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ ඊයේ (22) දිවුරුම් දුන්නා.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව සදහා ධම්මික පෙරේරා මහතා මෙලෙස පත් වුණා.

ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම අභියෝගයට ලක් කරමින් ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබූ පෙත්සම් පෙරේදා (21) විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප වුණා.

මන්ත්‍රි ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටත පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් ඔහු පැවසූවේ තරුණයින්ගේ ගැටළුවලට තමන්ට විසදුම් ලබාදිය හැකි බවයි.

තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම්දීමට පෙර සිය වත්කම් බැරකම් ප්‍රකාශ කථානායකවරයා වෙත භාරදුන් බවද ඔහු මෙහිදී ප්‍රකාශ කළා.

බැසිල් රාජපක්ෂ මහතා නිතරම කතා කරන බවත් සඳහන් කළ ධම්මික පෙරේරා මහතා මන්ත්‍රී ධූරය ලබා දීම ගැන බැසිල් රාජපක්ෂ මහතාට ගෞරව කරන බවත් කියා සිටියා.

පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය ලබා දීමට යෝජනා කර තිබුණේ වෙනත් අයෙකුගේ නමක් බවත් නමුත් බැසිල් රාජපක්ෂ මහතා පුද්ගලික කැමැත්තෙන්ම තමන්ට මන්ත්‍රී ධූරය ලබා දුන් බවත් ධම්මික පෙරේරා මන්ත්‍රීවරයා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: