hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 මාර්තු 15, ප.ව. 2:44



මෙරට මුහුදු සීමාවේදී ගිනි ගෙන විනාශයට පත්වූ එම්.ටී නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් වන්දි මුදල් අයකර ගැනීමට සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය නිසි අයුරින් කටයුතු කර නැතැයි අනාවරණය වී තිබෙනවා.

මේ තොරතුරු අනාවරණය වූයේ මෙරට මුහුදු සීමාවේදී ගිනි ගෙන විනාශයට පත්වූ එම්.ටී නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් වන්දි අය කිරීම ඇතුළු කටයුතු සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

එම කමිටුව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 11 වැනිදා රැස්වුණා.

ඒ කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කෝප් කමිටුවේදීය.

රුපියල් කෝටි 348ක වන්දි මුදලක් අයකර ගැනීමට ඇතත් මෙතෙක් අය කරගෙන ඇත්තේ රුපියල් කෝටි පහක පමණ මුදලක් පමණක් බවට කෝප් කමිටුවේදී පසුගිය 11 වැනිදා තොරතුරු අනාවරණය වුණා.

එම වන්දි මුදල අයකර ගැනීම නිසි අයුරින් කටයුතු කර නොමැති බව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා ප්‍රකාශ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ ප්‍රධානින්ට දැඩි ලෙස දෝෂාරෝපණය කළා.

නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගම සමග ගනුදෙනුවකට ගොස් පරිසර හානිය ලබා නොදී ඒ සමාගමට වාසි සහගත අයුරින් කටයුතු කළ බවට තමා චෝදනා කළ හොත් ඊට දෙන පිළිතුර කුමක්දැයි කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී විමසා තිබෙනවා.

ඒ අවස්ථාවේදී සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරින් ඒ සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් ලබා දී නෑ.

මේ කටයුතුවලදී ආයතනයේ නීති නිලධාරිනිය නිෂ්ක්‍රීයව සිටියේ ඇයිදැයි කෝප් කමිටු සභාපතිවරයා ඉන් අනතුරුව විමසා සිටියා.

එහිදී අදහස් දැක්වූ නීති නිලධාරිනිය මෙම නෞකාවට අදාළව නීතිපති දෙපාර්තමේන්තුවේ පැවැත්වූ කිසිම සාකච්ඡාවකට තමා සම්බන්ධ කර නොගත් බව ප්‍රකාශ කළා. 

නීති නිලධාරිනිය එම කටයුතු සඳහා සම්බන්ධ කර නොගත්තේ ඇයි දැයි කෝප් සභාපති චරිත හේරත් මහතා මෙහිදී විමසා සිටි අතර ඊට පිළිතුරු ලබාදුන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවේ ආයතනයේ කටයුතුවලදී එම නිලධාරිනියගේ මැදිහත්වීම ප්‍රමාණවත් නොවන හෙයින් ඒ කටයුතු සඳහා දෙවැනි නිලධාරියකු පත් කිරීමට සිදුවූ බවයි.

එය පරිපාලනමය වශයෙන් ගත් වැරදි තීන්දුවක් බව කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීති නිලධාරිනිය පැවසූවේ තමා අවුරුදු දහඅටක් තිස්සේ ආයතනයේ නඩු කටයුතුවලට සම්බන්ධවී කටයුතු කර පළපුරුද්දක් ඇති නිලධාරිනියක බවයි.

එම්.ටී නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධ කටයුතු ආයතනයේ නීති අංශයෙන් වසා සිදුකිරීම බරපතළ ප්‍රශ්නයක් බව කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.