hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ඔක්‍තෝබර් 25, ප.ව. 2:30



හැකි තරම් ඇමැති ධූර ලබා දී සියලු දෙනා සතුටු කිරීමේ ක්‍රමවේදයට තිත තබමින් එකම කාර්ය සිදු කරන අමාත්‍යාංශ කිහිපයක් වෙනුවට ඒ සියල්ල ඒකාබද්ධ කර තනි අමාත්‍යාංශයක් ගොඩ නැගීමට ජනපති කටයුතු කරමින් සිටින බවත් රටේ අනාගතව ගැන සිතා හෝ ඒ සඳහා සියලුදෙනාගේ සහය එතුමාට ලබදිය යුතුව තිබෙන බවත් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

මහනුවර දී අද (25) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමුණුගම මහතා මේ බව ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුදෙනා ඇමැතිවරු විය යුතු බව කියමින් එසේ නොවන්නේ නම් ජනපතිට අපගේ සහය නැතැයි පවසන්නට කවුරුන් හෝ උත්සහ කරන්නේ නම් එය අනුමත කළ නොහැකි බවත් පසුගිය කාලයේ ඒ ආකාරයෙන් සිතූ අය සතුටු කිරීම සඳහා ඇමැති ධූර ලබාදීමේ ප්‍රතිපලයක් ලෙස එකම කාර්ය කිරීමට ඇමැතිවරු දෙතුන් දෙනා පත්ව සිටි බවත් ඒ මහතා සඳහන් කළා.

කර්මාන්ත අමාත්‍යාංශය සඳහා එක් ඇමැතිවරයෙකු සිටිය දී ආයෝජන ප්‍රවර්ධන ක්ෂේත්‍රය වෙනුවෙන් තවත් ඇමැතිවරයෙකු පත්කර තිබෙන බවත් මේවා සම්බන්ධව විශේෂ අවධානයක් යොමුකර එකම විෂය පථය ඇති අමාත්‍යාංශ එක්කර එක් ඇමැතිවරයෙකු යටතට පත් කිරීමට ජනපතිවරයා ගේ අවධානය යොමුව තිබෙන බවත් හෙතෙම අවධාරණය කර සිටියා.

එහි එක් පියවරක් ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පත්කර තිබෙන බව ද ඒ මහතා සඳහන් කළා.

සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ පසුගිය කාලයේ දී ඇති වූ ගැටලු හා අර්බුද හේතුවෙන් වෛද්‍යවරයෙකු අදාළ ඇමැති ධූරය දැරීම සුදුසු බවට ජනපතිවරයා තීරණය කර තිබෙන බවත් එම තීරණය හා තමන් ද එකඟ වන බවත් කී ඇමැතිවරයා මෙවර ඇමැති ධූර දරන ලද පුද්ගලයින් වෙනස් වුවත් ඇමැතිවරු සංඛ්‍යාව වැඩි වී නොමැති බව ද අවධාරණය කළා.

කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය ඇමැති ධූරයෙන් ඉවත් කළේ එතුමාට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් දඬුවමක් ලෙස නොවන බවත් අදාළ ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් අවබෝධයක් තිබෙන වෛද්‍යවරයෙක් ඊට පත් කිරීම මගින් ඖෂධ හා සම්බන්ධ පවතින ගැටලු නිරාකරණය කර ගැනීමට වැඩි අවකාශයක් සැලසේ යැයි යන විශ්වාසය මත බවත් රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළා.

මෙතෙක් කල් ක්‍රියාත්මක වූ ඇමැති ධූර හැකි තරම් ලබා දී සියලුදෙනා සතුටු කිරීමේ ක්‍රමවේදයෙන් බැහැරව ජනපතිවරයා අවශ්‍යතාව අනුව සුදුසු අයට ඇමැති ධූර ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ඊට සියලු දෙනාගේ සහය ලබා දිය යුතුව තිබෙන බවත් ඒ මහතා පැවසුවා.