hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අගෝස්‍තු 06, පෙ.ව. 6:14



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනා කරන ලද සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීමට සහාය දැක්වීම සම්බන්ධයෙන් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු එම පාර්ශ්වය කොන්දේසි පනවා තිබෙනවා.

ජනාධිපතිවරයා පසුගිය 03 වැනි දින තුන්වැනි වාර පාර්ලිමේන්තු සැසි වාරය අමතමිනුයි සියලුම පක්ෂවලට සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා එක්වන ලෙසට ඇරයුම් කෙරුණේ.

ඒ අනුව එයට පිළිතුරු වශයෙනුයි මන්ත්‍රී අලහප්පෙරුම මහතා සිය සහයෝගය ලබා දීමට යම් යම් කොන්දේසි පනවා ඇත්තේ.

මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු කණ්ඩායම ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කෙරුණු අතර, එහිදියි මෙම කොන්දේසි 04 ඉදිරිපත් කෙරුණේ.

එහිදී මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ යෝජනා 04 අතර, වත්මන් රජය යටතේ කිසිදු ලෙසකින් අමාත්‍ය මණ්ඩලයේ නව තනතුරු ඇති නොකරන ලෙසටයි එහි ප්‍රමුඛ කොට ඇත්තේ.

ඒ අනුව රාජ්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍යවරුන් පුරවා නොගනිමින්, ගොඩනැගෙන ආණ්ඩුවක කිසිදු තනතුරක් භාර නොගෙන සිය සහාය ලබාදෙන බව මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

පාර්ලිමේන්තු අනු කමිටුවල වැඩ කිරීමට සිය කණ්ඩායම කැමති බවත්, එහිදී පාර්ලිමේන්තු කටයුතුවලට ද පූර්ණ සහයෝගය ලබාදෙන බවයි මන්ත්‍රීවරයාගේ කොන්දේසිවල දැක්වෙන්නේ.

අධ්‍යාපනය නැවත වසංගත තත්ත්වයට පෙර තිබූ තත්ත්වයට ගෙන ඒම මූලිකම හා ප්‍රධානතම වගකීම විය යුතු බවත්, මහජන මතය විකෘති වීම පාර්ලිමේන්තුව තුළ දැකිය හැකි බවත්, එය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතු බවත් ඩලස් ඇතුළු පාර්ශ්වය ජනාධිපතිවරයාට අවධාරණය කර තිබෙනවා.

පොදුජන පෙරමුණේ සභාපති ජි.එල්.පීරිස් මහතා සහ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු මන්ත්‍රී පිරිසක් ආණ්ඩුවෙන් වෙන්ව වෙනම දේශපාලන පක්ෂයක් පිහිටු වීමට කටයුතු කරමින් සිටිනවා.

නමුත් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීමට සහාය දැක්වීමට තීරණය කර තිබෙනවා.