hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 11, පෙ.ව. 11:11



පළාත් පාලන මැතිවරණයේ ඇප මුදල් බාර ගැනීම තාවකාලිකව අත්හිටුවන ලෙස දැනුම් දෙමින් නිකුත් කළ චක්‍ර ලේඛනය අවලංගු කරගනු ලැබූයේ මැතිවරණ කොමිෂන් සභාව පෙර ඇති කරගත් එකඟතාවය මත ඡන්දය සම්බන්ධයෙන් නීතිපතිවරයාට ලිඛිතව කරුණු දක්වා තිබීම නිසා යැයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් සඳහන් කර තිබෙනවා.

ඉහත චක්‍රලේඛය නිකුත් කරනු ලැබුවේ අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයකට අනුව යැයි ද ඔහු පෙන්වා දෙනවා.

පළාත් පාලන මැතිවරණය ආසන්නව පවතින අවස්ථාවේ දී මැතිවරණ කොමිෂන් සභාවේ බෙදීමක් පවතින බවට පළවූ අදහස සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සමග ඉකුත් සතියේදී සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.

ඇති වී තිබෙන ගැටළු සම්බන්ධයෙන් නීතිපතිවරයා සමග වාචිකව හෝ ලිඛිතව කරුණු සාකච්ඡා කොට විසඳුම් ලබා ගැනීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී උපදෙස් දී තිබුණා.

නැවත දැනුම් දෙනතුරු පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා වන අපේක්ෂක ඇප තැන්පත් මුදල් භාර ගැනීමෙන් වළකින ලෙස සියලු ම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නියෝග කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න විසින් ඊයේ (10) ලිපියක් යොමු කරනු ලැබ නැවතත් එම ලියුම ආපසු කැඳවා තිබෙනවා.

කැබිනට් මණ්ඩලය පෙරේදා (09) රැස් වී ගත් තීන්දුවකින් කළ නියෝගයක් අනුව තමා මෙම ලිපිය යොමු කළේ යැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න එම ලිපියේ සඳහන් කර තිබුණා.

මේ අතර, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 4(1) වැනි වගන්තියෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල අනුව අතිවිශේෂ ගැසට් නිවේදනයකින් පත්කර ඇති දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් නියමිත පරිදි ඇප තැන්පතු ලබාගත යුතු යැයි කියමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ද සියලු ම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත ඊයේ (10) ලිපියක් යොමු කර තිබුණා.

එසේ ම, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 5 වන වගන්තිය අනුව ජනවාරි 18 සිට ජනවාරි 21 දින මධ්‍යහ්න 12.00 දක්වා කාලය තුළ නාම යෝජනා භාර ගැනීම සියලු ම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ගේ වගකීම යැයි ද එහි සඳහන්.