hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 17, ප.ව. 3:14



ඔක්කොම සෙල්ලම් ඇත්තේ තව අවුරුදු දෙකක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හයිඩ් පිටියේ සංවිධානය කළ විරෝධතා රැළිය අමතමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

”රට වෙනුවෙන් දැක්මක් සහිත උන් පාර්ලිමේන්තුවේ නෑ. මේ වෙනකොට පාර්ලිමේන්තුවේ ඉන්න යම් චින්තනයක් බුද්ධියක් තියන අය ඒ බව තේරුම් ගනිමින් ඉන්නවා. මේ අරගලය මාර්තු මාසයෙ පටන් ගත්තු දවසෙ ඉඳලා මා ඊට ආශීර්වාද කළා. ඉදිරියටත් කරනවා. අරගලය කඩා වැටුනේ අරගලයට නායකයෙක් හිටිය නැති නිසා නෙමෙයි. අරගලයට අඩිතාලමක් තිබුණේ නෑ. අනිවාර්යයෙන් ඉදියේ දි මේ අරගලයට වෛද්‍යවරු උගත්තු නීතිඥවරු ව්‍යවසායකයින් ඇතුලු සියලු දෙනාම එකතුවෙලා අඩිතාලමක් දාන්න ඕන. එහෙම කළොත් අරගලයේ දරුවන්ට ඉස්සරහට යන්න පුලුවන්. ගෙදරක දෙමව්පියො වගේ මේ අරගලය පසුපස වැඩිහිටියො හිටගන්න ඕන. එහෙම උනොත් මේ අරගලය දිනනවා. ලේ දහදියට බය වෙන්න එපා. හිර ගෙවල්වලට බය වෙන්න එපා. අවුරුදු දෙකයි ඔක්කොම සෙල්ලම් දාන්න පුළුවන්”

අද සවස හයිඩ් පිටියේදී පැවැති අන්තරේ විරෝධතා ව්‍යාපාරයේදී දේශපාලන පක්ෂවල නියෝජිතයන්ද එම වේදිකාවට ගොඩවී සිටි ආකාරයක් දැකගත හැකි වුණා.

ඒ අනුව සජබ සභාපති සරත් ෆොන්සේකා, ඩලස් පිල නියෝජනය කරන වසන්ත යාපා බණ්ඩාර, පෙරටුගාමී පක්ෂයේ පුබුදු ජාගොඩ, ජවිපෙ නියෝජිත වසන්ත සමරසිංහ ඇතුලු වෘත්තීය සමිති නියෝජිතයන්ද ඊට එක්ව සිටියා.