hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 02, පෙ.ව. 11:15



හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි ශ්‍රී ලංකාවට පැමිණීමට මෙය සුදුසු කාලය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජාත්‍යන්තර වෝල් ස්ට්‍රීට් ජර්නයලය සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

මෙම අවස්ථාවේදී ඔහු යළි දිවයිනට පැමිණීම, ආර්ථික අ‍ර්බුදය හේතුකරගනිමින් තමන් නෙරපා හැරීමට පෙළ ගැසී සිටි දස දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් අතර යළි විරෝධයක් ඇති කළ හැකි බවයි ජනාධිපති වික්‍රමසිංහ මහතා කියා ඇත්තේ.

මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව හා අයිතිවාසිකම් සුරක්ෂිත කරලීම පිළිබඳ ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පිටියාගොඩ සිරිවිමල හිමියන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබෙනවා.

ඉතිහාසයේ කිසි දා නො වූ විරූ දේශපාලන හා සාමාජික අර්බුද රැසකට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බව උන් වහන්සේ සිය ලිපිය ආරම්භයේ දී ම අවධාරණය කරනවා.

ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ අතිමහත් ජනවරමකින් ජනාධිපති ධුරයට පත් වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ස්වකීය ද්විත්ව පුරවැසිභාවය පවා අහිමි කරගත්තේ, ශ්‍රී ලංකාවට අවංක සේවයක් ඉටු කිරීමේ අරමුණෙන් බවයි උන්වහන්සේ පවසන්නේ.

වසර 74ක දේශපාලන ඉතිහාසය තුළ සෙසු අය ද සිදු කළ සියලු වැරැදිවල අනිසි විපාක විඳින්නට සිදු වුණේ, වැරැදි නො කළ සාමකාමී ගෝඨාභය රාජපක්ෂ මහතාට බවත් සාමාන්‍ය පුරවැසියෙකුට තම රට තුළ හිමි විය යුතු ජීවත් වීමේ වරප්‍රසාදය ද එතුමාට අහිමි වී ඇති බවත් කැප්පිටියාගොඩ සිරිවිමල හිමියන් සඳහන් කරනවා.

එසේ තම රටෙන් පිට වී සිටීමට ගෝඨාභය රාජපක්ෂට අවශ්‍ය නො වන බව පවසන උන්වහන්සේ, ඔහු මෙම රටේ ගෞරවණීය පුරවැසියෙකු මෙන් ම අපට රටක් හිමි කර දුන් ප්‍රබල පුරවැසි උරුමකරුවකු බව ද අමතක නො කළ යුතු බවයි ප්‍රකාශ කරන්නේ.