hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූලි 09, ප.ව. 10:23



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 13 වනදා ඉල්ලා අස්වන බවට කතානායකවරයාට දන්වා තිබෙනවා.

අද (09) සවස පැවැති පක්ෂ නායක රැස්වීමේදී ජනාධිපති සහ අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බව පක්ෂ නායකයන් බහුතරය තීරණය කළා.

ඒ බව කතානායකවරයා ජනාධිපතිවරයට දන්වා යවා ඇති අතර එම ලිපියට පිලිතුරු ලෙස ජනාධිපතිවරයා කතානායකට සිය ඉල්ලා අස්වීම පිළිබඳව දන්වා තිබෙනවා.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියේ ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීමේ කැමැත්ත දැනුම්දී ඇති බවයි.

තවදුරටත් රටේ නොසන්සුන්තාවක් ඇති කිරීමට අවශ්‍ය නොවන බැවින් සාමකාමීව පාලනය භාරගත හැකි වන පරිදි රට සන්සුන්ව තැබීමට සියලුදෙනාගේ සහයෝගය රට වෙනුවෙන් සහ ජාතියේ අනාගතය වෙනුවෙන් ලබාදෙන ලෙසට ගෞරවයෙන් ඉල්ලා සිටින බවයි ඔහු සඳහන් කළේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තබා ඇති අතර ඇතැම් පිරිස් ප්‍රචණ්ඩත්වය මුදා හැරීමට කටයුතු කර ඇතැයි ද කතානායකවරයා පෙන්වා දෙනවා.

එබැවින් තවදුරටත් එම ක්‍රියාවලට මැදිහත් නොවී සාමකාමීව නිවෙස්වලට විසිර යන ලෙසටයි කතානායකවරයා සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේ.

මෙම කටයුත්ත සාර්ථකව අවසන් කරන තෙක් රටේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන ලෙසට සියලු රාජ්‍ය සේවකයන්ගෙන් සහ මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින බව ඔහු ප්‍රකාශ කළා.