hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 13, ප.ව. 12:21



ජනධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය තවමත් තමා අතට ලැබී නැතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

මෙම ලිපිය කතානායකවරයාට බොහෝ දුරට අද දහවල් බාරදෙනු ඇතැයිද වාර්තා වනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේ ඉල්ලා අස්වන බව කතානායකවරයාට පසුගියදා දැනුම් දුන්නා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට බාර දුන් වහාම නව ජනාධිපතිවරයකු පත් කර ගැනීම සම්බන්ධයෙන්වූ පාර්ලිමේන්තු කටයුතු අද (13) දිනයේම ආරම්භ කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් සඳහන් කළා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට අද (13) බාරදීමට නියමිත අතර එම ලිපියට ජනාධිපතිවරයා අද  අත්සන් තබා ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

ජනාධිපතිවරයා විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට බාර දීමෙන් පසු ඔහු විසින් ඒ පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් රටට දැනුම් දෙනු ඇති.

ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඒ පිළිබඳව දින තුනක් ඇතුළත පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතු වනවා.

මේ අනුව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් ලබන 15 වැනිදා ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ඇති.

අභිනව ජනාධිපතිවරයකු පත්කරගැනීම සඳහා නාම යෝජනා කැඳවීමේ ක්‍රියාවලිය ආරම්භ වන්නේ ඉන් අනතුරුවයි.

රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු පක්ෂ නායකයින් පසුගියදා තීරණය කළා.

ඒ අනුව කතානායකවරයා ඒ තීරණය ජනාධිපතිවරයාට දැනුම් දුන් අතර සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයා  කතානායකවරයාට දැනුම් දුන්නේ ඉන් අනතුරුවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: