hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 අගෝස්‍තු 07, පෙ.ව. 10:58



හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ රැඳී සිටීමට තවත් දින 14ක කාලයක් ලබා දෙන්නැයි රජය සිංගප්පූරු රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වනවා.

සිංගප්පූරුවේ රැඳී සිටින ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සිය වීසා කාලය අවසන් වීමෙන් පසුව ලබන 11වැනිදා දිවයිනට පැමිණීමට නියමිතව සිටියා.

නමුත් රජය කර ඇති මෙම ඉල්ලීම අනුව, ගෝඨාභය රාජපක්ෂ මහතා මේ මස අවසන් සතිය පමණ වන තෙක් සිංගප්පූරුවේ රැඳී සිටිනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළා.

මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි ශ්‍රී ලංකාවට පැමිණෙන දිනය තමාට ස්ථිර වශයෙන් තවමත් දැනුම් දුන්නේ නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ගෝඨාභය මහත්මයා රටින් පැනලා ගියේ ඇයි?ද යන්න සති අන්ත ජාතික පුවත්පතකට අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා සඳහන් කර ඇත්තේ “එයා පැනලා ගියා කියලා චෝදනා නගන්නේ කවුද?“යන්නයි

“ඕනෑ කෙනෙකුට ඕනෑ විදිහකට කියන්න පුළුවන්. ඒවා ඔක්කෝම නිර්මාණය කරපු කතා. එයා ගියේ වෛද්‍යවරයා ලවා පරීක්ෂා කරගන්න. (චෙකප් එකකට) එයා ගියේ මටත් කියලයි.” යැයි මහින්ද රාජපක්ෂ මහතා එහිදී සඳහන් කර තිබෙනවා.

අරගලකරුවන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ ,හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය මාසයේ 14 වැනිදා මාලදිවයින හරහා සිංගප්පූරුව බලා පිටත්ව ගිය අතර, ඔහුට සති දෙකක කාලයක් එහි රැඳී සිටීමට අවසර දී තිබුණා.

පසුව එම කාලයද තව සති දෙකකින් දීර්ඝ කරනු ලැබුවා.