hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ජූනි 02, පෙ.ව. 11:20



යල කන්නය සඳහා අවශ්‍ය පොහොර කඩිනමින් ලබාදීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එකඟතාව පළ කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඉන්දීය ණය ආධාර යටතේ මෙම පොහොර තොගය සැපයෙන අතර මෙරටට ලැබී දින 20ක් ඇතුළත බෙදාහැරීමට සැලසුම් කර තිබෙනවා.

වාරිමාර්ග ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග සහ විසඳුම් පිළිබඳ ඊයේ (01) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

උමාඔය සහ මොරගහකන්ද ව්‍යාපෘති මේ වසර නිම වීමට පෙර අවසන් කර, මහ කන්නය සඳහා ප්‍රතිලාභ ලබාදිය හැකි බව සාකච්ඡාවේ දී අනාවරණය වුණා. මොරාණ, මහගල්ගමුව පෝෂිත ඇළ, මහගෝණ වැව, විලකණ්ඩිය වැව සහ ගොඩිගමුව වැව ව්‍යාපෘති මීට සමගාමීව වැඩ නිමවීමට නියමිතයි.

විදේශීය අරමුදල් යටතේ අරඹා ඇති ව්‍යාපෘති අපේක්ෂිත කාලසීමාවේ දී අවසන් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.

ගත වූ තෙදින තුළ සමස්ත විදුලි උත්පාදනයෙන් 80%ක් ජල සහ සුළං බලයෙන් ජාතික විදුලිබල පද්ධතියට සැපයූ බව අනාවරණය විය.

ජලය මත පාවෙන සූර්ය පැනල ව්‍යාපෘති ඉහළ නැංවීමට හා වහලය මත සවිකරන සූර්ය පැනල සඳහා ලබාදෙන ප්‍රතිලාභ වැඩි කර, පාරිභෝගිකයන් දිරිගැන්වීමට පියවර ගත යුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

යල කන්නයේ වගා කටයුතු පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරුණු අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය යටතේ ජලය සැපයෙන ඉඩම්වලින් 50%ක් මේ වන විටත් වපුරා තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: