hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 ජූලි 13, ප.ව. 9:26



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා පිටත්ව යාමට සූදානම් බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

සිංගප්පූරුවට ළගාවීමෙන් අනතුරුව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත යොමු කිරීමට සූදානම් බවට වාර්තා වනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ නිල ලිපිය අද දිනය තුළ ලබාදෙන බව ජනාධිපතිවරයා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම්දී තිබුණා.

ජනාධිපතිවරයා අද(13) අලුයම මාලදිවයින බලා පිටත්ව ගිය බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව තහවුරු කළා.

ජනාධිපතිවරයා, ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු සමඟ මෙසේ පිටත්ව ගොස් ඇති බවයි අප ගුවන්තොටුපොල වාර්තාකරු ප්‍රකාශ කළේ.

ගුවන් හමුදා මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනාධිපතිවරයෙකුට හිමි බලතල ප්‍රකාරව පවතින රජයේ ඉල්ලීමට අනුව, ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතියට යටත්ව ගුවන්තොටුපොළ ආගමන විගමන, රේගු හා අනෙකුත් සියලුම නීතිවලට යටත්ව ජනාධිපතිවරයා, බිරිඳ සහ ආරක්ෂකයින් දෙදෙනකුට මාලදිවයින බලා පිටත්ව යාමට ගුවන් හමුදා යානයක් ලබා දුන් බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් 32 වර්ගයේ ගුවන් යානයකින් මාලදිවයිනේ, මාලේ අගනුවරට පිටත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

අද අලුයම 1.45 ට පමණ රටින් පිටව ගොස් ඇති ජනාධිපතිවරයා ඇතුළු පිරිස රැගත් යානය අලුයම 3.00 පමණ වන විට යානය මාලේ අගනුවරට ළඟා වී ඇති බව ද බීබීසි පුවත් සේවය වාර්තා කර තිබුණා.

මේ අතර මාලදිවයිනට ගොස් සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව එරට ජනතාව විරෝධතා ආරම්භ කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මාලදිවයින් මාධ්‍ය වාර්තා කර සිටියේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට එරටට පැමිණීමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් එරට රජයට ද ජනතාව චෝදනා එල්ල කරමින් සිටින බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක අරගලයට තමන්ද සහය දක්වන බවයි මාලදිවයිනේ අගනුවර වන මාලේ හි විරෝධතා දක්වන පිරිස් සඳහන් කරන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: